එකම රාමුවකට කොටු වෙලා ගීත ගයන්නේ නැහැ මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ පරපුර අතර ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් සිටින නවක ගායන තරුවක් ලෙස යොමාෂා චාවින්දි හඳුන්වා දිය හැකිය. දැනට ගීත කිහිපයක්ම සිය රසික පිරිස් වෙත තිළිණ කර ඇති යොමාෂා ඉදිරි කාලයේදී අලුත්ම ගීතය නිකුත් කිරීමටද සූදනමින් සිටින්නීය. මේ දිග හැරෙන්නේ සාරවිට අපි ඇය සමගින් කළ කතා බහයි.

ක්ෂේත්‍රයට ඔබ එන්නේ අහම්බෙන්?

ඔව්, ක්ෂේත්‍රයට මගේ පැමිණිම සිදුවන්නේ අහම්බෙන්. මගේ මල්ලි ගායකයෙක්. එයා අවුරුදු හතේ ඉඳලා ගීත ගායනා කරනවා. අද වෙන කොට මල්ලිට අවුරුදු පහළොවක් වෙනවා. මල්ලි ගීත ගායනය පැත්තට යොමු වුණත් මගේ  කැමැත්තක් තිබුණේ නැහැ ගායිකාවක් වෙන්න. පස්සේ මල්ලි ප්‍රසංග සඳහා ඉදිරිපත් වෙන කොට ගොඩක් අය මට කතා කරලා කිව්වා මල්ලි වගේ ප්‍රසංග වලට ඉදිරිපත් වෙලා ගීත ගායනය පැත්තට යොමු කියලා. ඒ විදිහට තමා ගායිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුණේ.
 

ගායිකාවක් විදිහට වැඩ කරන්න කළින් ඔබ අවුරුදු කුමරියක් වුණා?

ඔව්, 2021 වසරේ ස්වර්ණවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ ස්වර්ණකුමරිය තරගයට මම අයදුම් කළා. 2021 කියන්නේ මම අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දුන්න වසර. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක නිවසටම සීමා වෙලා හිටිය නිසා තමයි මම මේ තරගයට යොමු වුණේ. ඒ තරගයේ මම අවසන් තරගකාරියන් දොළොස් දෙනා අතරට ආවා. ඊට පස්සේ මට රඟපාන්න වගේ හඬකැවිම් ශිල්පිණියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. කලා ක්ෂේත්‍රයට ආපු නිසා ගායිකාවක් විදිහට මට නම හදාගන්නත් ලොකු පහසුවක් වුණා.

සහෝදරයා ගායකයෙක් නොවුණා නම් සමහර විට ඔබ ගායිකාවක් නොවන්න තිබුණා නේද?

ඔව්, එහෙම වෙන්න තිබුණා. මගේ මල්ලි ගායකයෙක් නොවුණා නම් විතරක් නෙමෙයි ස්වර්ණකුමරිය තරගයට ගිහිල්ලා අවසන් තරගකාරියන් දොළොස් දෙනා අතරට එන්න අවස්ථාව නොලැබුණ නම් බොහෝ විට මම මේ ක්ෂේත්‍රවල නියැළෙන්නේ නැහැ. නමුත්, අහම්බයකින් මේ හැමදේම වෙනස් වුණා.
 
දැනට ගීත කොපමණ ප්‍රමාණයක් ඔබ ගායනා කරලා තියෙනවාද?

මගේ මුල්ම ගීතය දේදුන්නක් පායලා. ඒක ලිව්වේ වගේම ගී තනුව නිර්මාණය කළෙත් විජිත ජයලත්. සංගීතය නිශාම් අයියා.  ඇස් බැල්මෙන්.. තමයි මගේ දෙවැනි ගීතය. ඒක ලිව්වේ ආරාධනා ඒකනායක අක්කා. ගී තනුව ජිප්සිස් සංගීත කණ්ඩායමේ කි බෝඩ් වාදන ශිල්පි දුෂාන් ජයතිලක අයියා. ඒ ගීතයත් සංගීතවත් කළේ නිශාම් අයියා. තව ගීත කිහිපයක් මගේ නිකුත් වෙන්න තියෙනවා. ඒ ගැන තොරතුරු ඉදිරියේදී මම කියන්නම්.  

ඔබගේ ගීත හැරෙන්න ඔබ ගායනා කරන්න කැමතිම කාගේ ගීතද?

ප්‍රසංග වේදිකාවේ නම් මම ගායනා කරන්නේ ශෂිකා නිසංසලා අක්කා ගීත. ගොඩක් අය මගේ හඬින් ශෂිකා අක්කාගේ ගීත අහන්න කැමතියි. ඊට අමතරව, නිරෝෂ විරාජිනි, උරේෂා රවිහාරි, සුබානි ශර්ෂනි අක්කලාගේ ගීතත් මම ගායනා කරනවා. ඒ අයගේ ගීත අහන්නත් මම ගොඩක් කැමතියි.

ගායනය වෘත්තියක් කරගන්නද අදහස?

නැහැ. ගීත ගායනය වගේම කලා ක්ෂේත්‍රයේ අනෙකුත් වැඩ කටයුතු මම විනෝදයට කරන්නේ. මගේ වෘත්තිය විදිහට මම ඉදිරියේදී තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ වෛද්‍ය වෘත්තිය. වෛද්‍ය වෘත්තියේ වැඩ කරන අතරතුරදී තමයි අනෙකුත් දේවල්වලටත් මම ඉඩ හදාගෙන සැළසුම් කරන්නේ. කොහොම වුණත් කලා ශිල්පිණියක් විදිහට මේ ක්ෂේත්‍ර හරහා ඉදිරියට යන්නත් මගේ අදහසක් තියෙනවා.

අද බිහිවෙන අලුත් ගායක, ගායිකාවෝ එකම ගීත රාමුවලට කොටු වෙනවා. ඔබත් එහෙමද?

ඔව්, මා දැනට කළ ගීත දෙකත් ඒ වගේ එකම රාමුවකට කොටු වෙච්ච ඒවා. නමුත්, මම කැමති නැහැ එහෙම රාමුවකට කොටු වෙලා ඒකම විදිහේ ගීත ගායනා කරන්න. මම කැමතියි විවිධ ශෛලියේ ගීත ගායනා කරන්න. මගේ මිළඟ ගීතය මම හිතන්නේ මගේ ගායන දිවියේ ලොකු වෙනසක් කරයි කියලා. මොකද, ඒ ගීතය වෙනස්ම තාලේ වර්තමානයට ගැළපෙන ගීතයක්. දැන් කරපු ගීත එක්ක ගත්තොත් ඒක රාමුවෙන් පිට කරපු ගීතයක්. මම හිතනවා මේ ගීතය ඉතාමත් ආදරයෙන් මා වටා සිටන ශ්‍රාවක පිරිස වැළඳගනියි කියලා විශ්වාස කරනවා.

දක්ෂ ගායිකාවක් වෙන්නද.. ජනප්‍රිය ගායිකාවක් වෙන්නද ඔබ කැමති?

ඔය දෙකම වෙන්න මම කැමතියි. දක්ෂ ගායිකවක් විදිහට මේ ක්ෂේත්‍රය දිගු කාලයක් විදිහට රැඳිලා ඉන්නත්, ජනප්‍රිය ගායිකාවක් විදිහට මිනිස්සුන්ගේ හදවතේ රැඳිලා හදවතේ ගායිකාව විදිහට ඉන්නත් මම බලාපොරොත්තු වෙනවා.

බුද්ධික සේනාධීර