කලා ක්ෂේත්‍රය කියන්නේ සුන්දර මිනිස්සු ඉන්න තැනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ විවිධ කලා නිර්මාණ අප ඔස්සේ දුටු සරෝජා වසන්ති සිය විවාහයත් සමගින් කලා කටයුතුවලින් තරමක් ඈත්විය. නිවේදිකාවක් ලෙස පසුගිය කාලයේ හැදෑරිම් කටයුතු කළ ඇය මේ වනවිට නැවතත් කලා ක්ෂේත්‍රයට පැමිණෙන්ට සූදානමින් සිටියි. ඒ පිළිබඳව ඇය අපට කිව්වේ මේ විදිහට.

කාලයක් තිස්සේ අපි ඔබව කලා කටයුතුවලින් දුටුවේ නැහැ?

2017 වසරේ උසස් අධ්‍යාපන කටයුතු හා තාත්තාගේ හීනයක් තිබ්බා මම ගුරුවරියක් විදියට වැඩ කරනවා දකින්න. ඒ කාලේ මම සිංහල ශාස්ත්‍රපති උපාධියට ඉගෙනගනිමින් හිටියේ. ඔය වැඩත්  එක්ක තාත්තගේ හීනේ ඉටුකරන්නයී මගේ අධ්‍යාපන කටයුතුයි නිසා මම කලා වැඩකටයුතු වලින් අයින් වෙලා අධ්‍යාපන කටයුතුවලට වැඩි තැනක් දෙන්න හිතුවා.

ආයෙත් කලාවට සම්බන්ධ වෙන්න ඔබගේ සූදානමක් තියෙනවද?

ඔව්. දැන් එහෙම සූදානමක් තියෙනවා. මොකද මගේ සැමියාත් කලාවට සම්බන්ධ සුන්දර හදවතක් තියෙන කෙනෙක්. ඒ නිසා මට ලැබුණ නිදහස, කැපවීම එක්ක ආයෙත් කලා කටයුතු වලට එන්න කැමැත්තක් සූදානමක් මගේ තියෙනවා.

කාලයක ඉඳලා ඔබේ ආසාවක් තිබුණා නේද නිවේදිකාවක් වෙන්න?

ඇත්තටම ඔව්. ඒක පොඩී කාලේ ඉදලා තිබුණ හීනයක්. පාසල් කාලේ ඉදන්ම මම පාසලේ ජනප්‍රිය චරිතයක්. පාසලේ මාධ්‍ය ඒකකයෙන් පටන් ගත්ත ඒ ආසාව අදටත් ඒ විදියටම තියෙනවා. පළාත් සමස්ත ලංකා තරග වලිනුත් මම නිවේදින හා නර්තන අංශවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් දැන් හිතාගෙන ඉන්නේ මම නිවේදනය පැත්තට යොමු වෙන්න. මොකද, ඒක මගේ පාසල් කාලයේ ඉඳලා තිබුණ දක්ෂතාවයක් නිසා.

හැමදේටම හැදෑරිමක් අවශ්‍යයි නේද?

අනිවාර්යයෙන්ම හැදෑරීමක් නැත්නම් පැවැත්මක් නෑ කියන එකයී මගේ අදහස. මොකද, මගේ සැමියත් නිවේදකයෙක් නිසා එයා යටතෙත් මන් මේ දවස්වල ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඊට අමතරව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යටතේ නිවේදනය හා හඬකැවීම සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් මම මේ දවස්වල හදාරමින් ඉන්නවා.

කලා ක්ෂේත්‍රය තරුණ අයට දැන් සුදුසුද?

ඔව් කලාව කරන්නම ඕනි තරුණ අය තමයි. හැබැයි අර ඉස්සේල්ල ප්‍රශ්ණෙදි කිව්වා වගේම හැදැරීමක් සහිතව ආවොත් තමයි පැවැත්මක් තියෙන්නේ. නමුත් අපි අද දකින්නේ ගොඩාක් දෙනා ක්ෂේත්‍රයට එන්නේ හැදැරීමක් නැතිව. ඒකයි එයාලට පවතින්න බැරි. හරි හැදෑරීමක් එක්ක ආවොත් තමන්ට හොද අනාගතයක් නිර්මාණය කරගන්න පුළුවන් කියන අදහස මගේ තියෙනවා.

වසර කිහිපයකට කළින් තිබුණ කලා ක්ෂේත්‍රය නෙමෙයි දැන් තියෙන්නේ?

ඔව් කොවිඩ් වසංගතයත් එක්ක බොහෝ ක්ෂේත්‍ර කඩාවැටිලා තියනවා. නමුත් දැන් නම් කලා ක්ෂේත්‍රය නැවත ටික ටික නැගිටිමින් එනවා. ඒ නිසා මම හිතනවා මට නැවත කලා ක්ෂේත්‍රයට එන්න මේක සුදුසුම කාලයක් කියලා.

විවාහ වෙලා මේ ක්ෂේත්‍රයට ආයේ එද්දි බයක් චකිතයක් නැද්ද?

මගේ සැමියාත් කලාවට සෑහෙන සම්බන්ධ නිසා මට බයක් නැතුව ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා අපි කෙටි පාරවල් හොයන් නැතුව හරි දේ හරියට කරනවා නම් මේ ක්ෂේත්‍රයට එන්න බය වෙන්න ඕනි නෑ. මේක හරි සුන්දර මිනිස්සු ඉන්න තැනක්.

බුද්ධික සේනාධීර