කලාව හොඳයි, නමුත්, මේකේ හරි පරිස්සමින් යන්න ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන සශිනි හංසිමා සමගින් මෙවර ‘සාරවිට’ තරු කතාබහ දිග හරින්නට අපි බලපෙරොත්තු වුණේමු. මේ අප ඇයට යොමු කළ ප්‍රශ්ණවලට සශිනි දැක්වූ ප්‍රතිචාර..

කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

2018 වසරේදී වගේ තමයි කලාවට සම්බන්ධ වුණේ. ඒකත් අහම්බෙන් ලැබුණ අවස්ථාවකින්. කෙහොම හරි අහම්බෙන් ලැබුණ අවස්ථාව අද වෙන කොට මගේ වෘත්තිය බවට පත්වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන.

රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වෙන්න ආසාවක් තිබුණද ඉතින්?

ඡායාරූපවලට පෙනි ඉන්න නම් ආසාවක් තිබුණට නිරූපිකාවක් විදිහට නම් වැඩ කරන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. හැබැයි රඟපාන්න නම් ආසාවක් තිබුණා. ඒකට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් නම් රඟපාන්න, නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන්න ගොඩක් කැමතියි මම.

මේ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

කලාව හොඳයි. නමුත්, හරිම පරිස්සමින් යන්න ඕනා ගමනක් කියලයි මට නම් හිතෙන්නේ. මොකද, තියෙන කට කතා මතවාදත් එක්ක මේ ක්ෂේත්‍රය හොඳයි, නරකයි කියලා වෙන් කරන්න අමාරුයි.

දායක වුණ නිර්මාණ ගැනත් කියමු අපි?

‘මැටි කඩුලු’ ටෙලි නාට්‍යයේ ‘කුමාරි’ කියන චරිතය ගොඩක් ප්‍රේක්ෂකයින් අතරට ගියා. ඊට අමතරව ‘නෝ පාර්කින්’, ‘ක්වීන්’ , ‘ක්‍රයිම් සින්’ හා ‘මනාලි’ කියන ටෙලි නාට්‍යයවලට දායක වුණා. රූපවාහිනි වෙළෙඳ දැන්විම් වගේම ගීත රුප රචනාත් කිහිපයකට මම දැනට දායක වෙලා තියෙනවා. තව නිරූපිකාවක් විදිහට මනාලියන්ට සිය පාරක් විතර පෙනි ඉඳලා තියෙනවා. 

නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට අද පිළිගැනිමක් ඔබට ලැබිලා තියෙනවා?

හොඳ ගමනක් යන නිසා හොඳ පිළිගැනිමක් දැන් මට ලැබිලා තියෙනවා. ඉතින් ඒ පිළිගැනිම ආරක්ෂා කරමින් මගේ ගමන තවත් හොඳ ශක්තිමක් විදිහට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

මේක ඔබේ වෘත්තියද?

දැනට මම රැකියාවක් නම් කරන්නේ නැහැ. ඒ නිසා වැඩි අවධානය දීලා තියෙන්නේ රංගන කටයුතුවලටයි නිරූපණ වැඩවලටයි තමයි. ඊට අමතරව මගේම කියලා පොඩියට සැලෝන් එකක් කරගෙන යනවා. හැම වෙලාවෙම ඉතින් සැලෝන් එකට වැඩ එන්නේ නැහැ. ඒ ලැබෙන විවේකය අනුව තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.

ඒ කියන්නේ දිගටම මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නයි ඔබගේ අදහස?

ඔව්, නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට මාව මිනිස්සු අඳුනගත්තේ මේ ක්ෂේත්‍රය හරහා. මට අද සමාජය තුළ යම් පිළිගැනිමක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නෙත් මේ කලාව නිසා. ඒ හින්දා දිගටම කලා කටයුතුත් එක්ක රැඳෙන්න තමයි අදහස මගේ.

උදව් කරපු අය ඉන්නවද ඔබට?

ඔව්, ගොඩක් කට්ටිය ඉන්නවා. ක්ෂේත්‍රයට පැමිණ මුල් කාලයේදී ගොඩක් අය මට උදව් කළා. නම් කියන්න බැරි තරමක් පිරිස ඉන්න නිසා ඒ හැමෝටම මේ වෙලාවේ මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.

බුද්ධික සේනාධීර