ගොඩක් අය ඉතින් ෆේස්බුක් එකෙන් තමයි කරදර කරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක්ම ඔස්සේම ඔබ දුටු දුෂි ප්‍රභා ඉලංගකෝන් මෙවර අපගේ මුල් කවරය හැඩ කරන්නීය. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයටම පමණක් සීමා නොවී සිනමාව හා වේදිකාවද අද වනවිට ජයගන්නට සමත්ව ඇති දුෂි ඉදිරියේදී තවත් කලා නිර්මාණ රාශියක් තුළින් ප්‍රේක්ෂක ඔබ අපට දකින්නට හැකිය.

දුෂි ප්‍රභා කියන්නේ මොන වගේ කෙනෙක්ද?

කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න කැමති නැති, සතුටින් විනෝදයෙන් හැම වෙලාවෙම ගත කරන්න කැමති හැමෝම එක්ක සමගියෙන් ජිවත් වෙන්න ආස කරන සරල ගතිපැවතුම් ඇති අහිංසක කෙනෙක් මම. හැබැයි අහිසංකයි කිව්වාට පොඩ්ඩක් විතර දඟ වැඩත් කරනවා ඉතින්.

කලාවට සම්බන්ධ නොවුණා නම් ඔබ කුමන වෘත්තියක් තෝර ගනියිද?

බොහෝ විට මම හෙදියක් වෙයි. හැබැයි මට තෙරේන කාලේ ඉඳලා මගේ තිබුණ ලොකුම හීනේ තමයි රංගන ශිල්පිණියක් වෙන එක. චිත්‍රපට බලන්න එහෙම ලොකු පිස්සුවක් තිබුණා මට පොඩි කාලේ. උසස් අධ්‍යාපනය නිමා කරලා අනාගතය ගැන හිතන කොට මගේ අදහස වුණේ ගුවන් සේවිකාවක් වෙන එක. හැබැයි ඒක සැබෑ කරගන්න බැරිවුණා. පස්සේ හෙද වෘත්තිය තෝරගත්තා. කාලයක් හෙද වෘත්තියේ වැඩ කරන කොට මට හිතුණා කුඩා කාලේ මගේ තිබුණ ආසවට යන්න. ඒ අදහසින් තමයි මම කලාවට සම්බන්ධ වුණේ.

රංගනයට සම්බන්ධ වුණ එක ගැන සතුටුද?

ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මේක මගේ කුඩා කාලයේ ඉඳලා තිබුණ හීනයක් නේ. අදටත් මම මා රඟපාපු කොටස් රූපවාහිනියේ හරි යූ ටියුබ් එකේ හරි දකින කොට පුදුමාකාර සතුටක් ලබනවා. අන්තිමට මාව ප්‍රේක්ෂකයෝ දැක්කේ සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ පිච්චමල සුවඳයි කියන ටෙලි නාට්‍යය හරහා. අදටත් ඒ මම කරපු චරිතයට රසික ප්‍රතිචාර අඩුවක් නැතිව ලැබෙනවා. දායක වුණ නිර්මාණ ගැන මම ගොඩක් තෘප්තිමත්. ඒ වුණාට රංගන ශිල්පිණියක් විදිහට තව බොහෝ දේ මට කරන්න තියෙනවා. ක්ෂේත්‍රයට එන ගොඩක් අලුත් අය ටෙලි නාට්‍යයවලට පමණයි සීමා වෙන්නේ. හැබැයි මට අද වෙන කොට ටෙලි නාට්‍යයවලට අමතරව සිනමාවටත් වේදිකාවටත් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

ජනප්‍රියත්වය කියන දේ සමහර වෙලාවට කරදරයක්ද?

ඇත්තටම කරදරයක් සමහර වෙලාවට. පසුගිය කාලේ නම් ප්‍රශ්න තිබුණේ නැහැ ඔය මාස්ක් එකක් දාගෙන එළියට බැහැලා ගියාට. මොකද, පාර තොටේදී ගොඩක් අය මාව අඳුනගන්නේ නැති නිසා. කොවිඩ් වසංගත තත්ත්වය දැන් පහවෙලා ගිහින් නිසා මාස්ක් භාවිතා කරනවා අඩුයි දැන්. ඉතින් ගොඩක් අය මාව අඳුනගත්තොත් ඇවිල්ලා කතා කරනවා. සෙල්ෆි ගන්නවා. ඇත්තටම මම ආසම නිදහසේ ඇවිදින්න. රසිකයෝ එහෙම ප්‍රතිචාර දක්වද්දි අර මම බලාපොරොත්තු වෙන නිදහස මට ලැබෙන්නේ නැහැ. අන්න එහෙම වෙලාවට නම් ජනප්‍රියත්වය කියන දේ පොඩ්ඩක් කරදරයක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.

තරුවක් කිව්වාම මිනිස්සුන්ගේ ආකාර්ශනය නිතරම වගේ දිනාගන්න ඕනා නේද?

රංගන ශිල්පිණියක් වුණාම අපි යන හැම තැනම ඉතින් කැපී පේන විදිහට යන්න ඕනා. මොකද අපි සාමාන්‍ය විදිහට ගියොත් මිනිස්සු හිතනවා අරයා නිළියක් නේද අර බලන්නකෝ එයාගේ හැටි කියලා. ඉතින් එහෙම දේවල් ගැන හිතන්න ඕනා නිතරම. විශේෂයෙන්ම වැඩිපුර මිනිස්සු ගැවෙසන තැන්වලට හොඳට අඳින්න පළඳින්න ඕනා. එහෙම වුණාම තමයි ඉතින් අපිටත් තැනක් ලැබෙන්නේ. අනිත් එක තමයි සමාජ මාධ්‍යය. ගොඩක් මිනිස්සු අද වෙන කොට සමාජ මාධ්‍යයට හුරු වෙලා තියෙනවා. කලාවට සම්බන්ධ අයත් එහෙමයි. මොකද, මිනිස්සු අතරට යන්න අද හොඳම මාධ්‍යය තමයි සමාජ මාධ්‍යය කියන්නේ. ඉතින් අපි පළ කරන දේ මිනිස්සු බලනවා. ඒවා අනුකරණය කරනවා. හොඳ වගේම නරක ප්‍රතිචාරත් අපි කරන කියන දේ මත අපිට ලැබෙනවා. ඉතින් මේ හැමදෙයක්ම අපි බොහෝම පරිස්සමින් තමයි හසුරවගන්න ඕනා.

රසිකයෝ ආදරය ඉල්ලලා ඔබව අපහසුතාවයට පත් කරලා  නැද්ද?

එහෙම අවස්ථා නම් ගොඩක් තියෙනවා. කරදර කරනවා කියන්නේ හොයාගෙන ඇවිල්ලා කරදර කරනවා නෙමෙයි. ෆේස්බුක් එකේ නම් ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණව සිදු වෙනවා. ගොඩක් අය කෙටි පණිවිඩ හරහා දුරකතන අංක ඉල්ලනවා ඡායාරූප ඉල්ලනවා. ඒ වගේම ආදර යෝජනා ගේනවා. ඒ වගේ විවිධ ප්‍රතිචාර දක්වනවා. ඡායාරූපයක් ප්‍රසිද්ධ කළත් එහෙමයි විවිධ අය විවිධ විදිහේ ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම ඉතින් ලොකුවට මම එහෙම ඒ වගේ දේවල් හිතට ගන්න කෙනෙක් නෙමෙයි.

රංගන ශිල්පිණියක් වුණාම ඔබ ඕනෑම අභියෝගයක් භාරගන්නවාද?

ඔව්, හැබැයි මම හැම වෙලාවේම බලනවා මට ලැබෙන චරිතේ ඇතුලේ මට කරන්න තියෙන දේ මොකක්ද කියලා. චරිතයක් හරහා කරන්න පුළුවන් ඕනෑම අභියෝගයක් මම භාරගෙන කරන්න කැමතියි. නැතුව නිකම් අඩ නිරුවතින්, නිරුවතින් සරාගි ජවනිකාවලට ඉඳලා තේරුමක් නැති අභියෝග භාරගන්න මම කැමති නැහැ. ඒවා මම දකින විදිහට අභියෝග නෙමෙයි. මිනිස්සුන්ගේ ආශාවන් පිනවන එක. හිතන්න මට ගොළු චරිතයක්, අන්ධ අබ්බගාත කෙනෙකුගේ චරිතයක් කරන්න ලැබෙනවා කියලා. අන්න ඒක අභියෝගයක්. ඒ වගේ දේවල් නම් මම අභියෝගාත්මක දේවල් විදිහට භාරගන්න කැමතියි.

බුද්ධික සේනාධීර