ගොඩක් කැවට මම ඉතින් මහත් වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් පසුව රංගනයට පිවිසි අවිශ්කා උමයංගනි බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තේ දෙරණ සංගීතේ ටෙලි නාට්‍යයේ රන්දිමා මිස් ලෙසය. වර්තමානය වනවිට බොහෝ දෙනෙකු දන්නා හඳුනන යෞවන රංගන ශිල්පිණියක් බවට පත්ව සිටින ඇය මේ දිනවලද විවිධ කලා නිර්මාණ ඔස්සේ අපට දකින්නට ලැබෙයි. මේ නිසාම මෙවර අපද ඇය වෙනුවෙන් මෙසේ ඉඩක් වෙන් කළා.

ඇගේ හැඩය තියාගන්න ව්‍යායාම් එහෙම කරනවද?

ව්‍යායාම් නම් කරනවා ගොඩක් අඩුයි. මොකද, තියෙන වැඩත් එක්ක ඒ දේවල් කරන්න ඇත්තටම වෙලාවක් නැහැ මට. කාලයක් මම ව්‍යායාම් කළා. දැන් වසර දෙකක් විතර වෙනවා ඒවා නවත්වලා. මගේ ඇඟ ඉතින් ගොඩක් වෙලාවට වෙනස් වෙන්නේ නැහැ. මීට වසර ගණානවකට කළින් මාව දැක්කත් මේ විදිහටම තමයි මම හිටියේ.

ආහාර ගැන අවිශ්කා ලොකුවට හිතන කෙනෙක්ද?

මම ගොඩක් කෑම කන කෙනෙක්. මට හොඳට කන්න පුළුවන්. ගොඩක් කෑම කැවා කියලා ඉතින් ලොකුවට මගේ ඇඟ එන්නේ නැහැ. බැරි වෙලාවත් මගේ ඇඟේ තියෙන හැඩය වෙනස් වෙනවා කියලා දැනුණොත් කෑම චුට්ටක් විතර අඩු කරනවා. මොනවා හරි වැඩක් ලැබුණොත් ඒක ඉලක්ක කරගෙන කැම අඩුවෙන් කනවා මම. නැතුව ලොකුවට කෑම පාලනය කරන්නේ නම් නැහැ. තෙල් කැම පිටි කැම කියලා එහෙම ලොකු පාලනයකුත් නැහැ මගේ.

පැණි රස කැම එහෙම වැඩිපුර කන්න කැමතිද?

ඔව්, මම හිතන්නේ මම වැඩිපුරම කන්නේ පැණි රස කෑම කියලා. මම ගොඩක් ආසයි කේක්, අයිස් ක්‍රිම්, චොකලට් වගේ දේවල් කන්න. පැණි රස කෑම ඇඟට හොඳ නැහැ තමා. ඒත්, ඉතින් මම කනවා. ඇත්තටම ඒක මට දැන් නවත්වගන්න බැරිකමක් තියෙන්නේ.

ලස්සනට අඳින්න කැමති කෙනෙක් නේද ඔබ?

ඔව් තරුණ ගැහැණු ළමයෙක් විදිහට මම ලස්සනට අඳින්න කැමතියි. කාලෙන් කාලේට විවිධ විලාසිතා එනවා නේ ලෝකයට. ඒ හැම දෙයක්ම භාරගෙන කරන්නේ නැහැ ඉතින් මම. විලාසිතා කරන්න මම ගොඩක් ආස කරන කෙනෙක්. හැබැයි අර එන හැම විලාසිතාවක්ම මම භාරගන්නේ නැහැ. එතැනින් මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා පමණයි මම තෝර ගෙන කරන්නේ.

ඇදුම් තෝරා ගැනීමේදී යම් යම් සීමාවන් තියෙනවද ඔබට?

ගැහැණු ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයිනුත් ලස්සනට අඳින්න කැමතියිනේ. තෝරලා බේරලා තමන්ගේ ඇඟට ගැළපෙනවා කියලා හිතෙනවා නම් තමන් අඳින විදිහට ගැළපෙනවා කියලා හිතෙනවා  නම් ඒ දේවල් තෝරා බේරාගෙන ඇන්දට කමක් නැහැ ඉතින්. මාත් එහෙම තමා. මට ගැළපෙනවා කියලා හිතෙන ඇදුම් මම අඳිනවා. ගොඩක් වෙලාවට මම බලන්නේ ඇදුමේ ලස්සන. ඒ වගේම ඒඇඳුම තැනකට ඇඳගෙන යන්න පුළුවන්ද කියන දේ. ඒ අනුව තමයි ඉතින් මම ඇඳුම් තෝරගන්නේ.

යාළුවෝ, පවුලේ අය අවිශ්කාගේ ලස්සනයි කියන්නේ මොනවද?

ගොඩක් අය කියන්නේ මගේ මුහුණ ලස්සනයි කියලා. ඇස් නහය කට වගේ දේවලුත් ලස්සනයි කියනවා. මෙහෙමයි ලස්සන කියන්නේ එකිනෙකාට සාපේක්ෂකව වෙනස් දෙයක්. ගොඩක් වෙලාවට මගේ යාළුවෝ වගේම ගෙදර අය මගේ ලස්සනට වඩා ඒ අය කැමති මගේ හොඳ හිතට. මාත් එහෙමයි. මම ගොඩක් හිත හොඳ සංවේදි කෙනෙක් කියලයි මට හිතෙන්නේ.  

මිස් ශ්‍රී ලංකා වගේ ලොකු පැජන්ට් එකකට යන්න කැමති නැද්ද?

මුලදි කැමැත්තකුත් තිබුණා. අවුරුදු කුමරිය වෙලා මම ටික කාලයක් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලේ ගොඩක් අය කිව්ව දෙයක් තමයි මිස් ශ්‍රී ලංකා වගේ තරගයකට ඉදිරිපත් වෙන්න කියලා. ඒ වුණාට ඉතින් ගියේ නැහැ මම. බලමු ඉදිරියට ඉතින්. හැමදේටම වෙලාව එන්න ඕනා නේ. මම ඒ ගැන හිතනවා ඉදිරියට.

ලංකාව වගේ රටක ඉපදුණ එක ගැන මොකද හිතෙන්නේ?

අද තියෙන තත්ත්වයත් එක්ක ලංකාවේ දැන් ජිවත් වෙන්න අමාරුයි. මිනිස්සු ලොකුවට ආර්ථික ප්‍රශ්නවලට මැදිවෙලා ඉන්නේ. නමුත්, ලංකාව කියන්නේ හොඳ රටක්. මම ගොඩක් මගේ රටට ආදරේයි. මම පිටරටකට ගියත් මම මගේ රට ගැන හිතනවා. වර්තමානයේ ප්‍රශ්න ටික ඉවර වෙලා දියුණු වුණොත් ලංකාව කියන්නේ ලෝකයේම තියෙන සුන්දරම රටක් කියලා මම හිතනවා. මම අදටත් හැබැයි සතුටු වෙනවා ලංකාවේ ඉපදුණ එක ගැන නම්.

බුද්ධික සේනාධීර