ගෑණු ළමයෙක් විදිහට සමාජෙත් එක්ක වැඩකටයුතු කරන්න අම්මා මට කියලා දීලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලිනව ක්ෂේත්‍රය කිහිපයකම නියැලමෙන් ඇයගේ හැකියාවන් ඔස්සේ ‌බොහෝ දුරක් ඇය පැමිණ තිබේ. ඇය නමින් කවීෂා ද සිල්වා. ඇයගේ වෘත්තීය ජීවිතය සහ නියැලෙන ක්ෂේත්‍ර පිළිබඳව පිළිබඳව කතාබහක යෙදුනා. මේ ඇය සමග කරනු ලැබූ කතාබහයි.

මුලින්ම ඔයාව හදුන්වා දුන්නොත්?

මම මධ්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් විදිහට ,හඬකැවීම් ශිල්පිනියක් විදිහට , නිවේදිකාවක් විදිහට සහ නිරූපන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා.ඒ වගේම කොළඹ නවලෝක රෝහලේ සම්බධීකරණ නිළධාරිනියක් විදිහටත් කටයුතු කරගෙන යනවා.

වෘත්තීය වශයෙන් වෙනත් ක්ෂේත්‍රයක ඉඳලා ඇයි මේ කලාවට ආවේ?

ඇත්තටම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ලොකු ආසාවක් තිබුණා රූපවාහිනී නාළිකාවක  නිවේදිකාවක් විදිහට වැඩ කටයුතු කරන්න.නමුත් ඒක අපිට අපි හිතන තරම් ලේසියෙන්  ළඟා කරගන්න බැහැ වර්තමානයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තියෙන තරඟකාරීත්වයත් එක්ක.ඒ නිසා ඉතින් ඒ හීනෙ වෙනුවෙන් වැඩ කරන ගමන් මම පවුලෙ එකම දරුවා තාත්තා මට අවුරුදු 2 දි හදිසි අනතුරකින් මිය ගිහින්.ඒ නිසා ආර්ථික අතින් ශක්තිමත් වෙන්නත් අවශ්‍ය නිසා රැකියාවක් කරන්න පටන් ගත්තා.ඒත් මේක මගේ පළමු රැකියාව නෙමෙයි.

මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න මූලික අඩිතාලම වුනේ මොකක්ද?

මට මුලින්ම මගේ හැකියාවන් අඳුන ගන්න ලැබුණෙ මගේ දහම්පාසල නින්දාන ශ්‍රී ධම්ම කුසල දහම් පාසලෙන්.මම ගායනා තරඟ , කථික තරඟ මේ හැමදෙයකින්ම එහිදී ජයග්‍රහණ ලබා ගත්තා. අන්තර් දහම් පාසල් තරඟ වලදීත් මට ජයග්‍රහණ ලබා ගන්න හැකි වුණා.එතනදි තමයි මට කථිකත්වයට හැකියාවක් තියෙනවා කියලා හැමෝම වගේ අඳුන ගත්තෙ.ඊට පස්සෙ මගේ පාසලෙන් මට අවස්ථා ලැබුණා නිවේදිකාවක් ලෙස තවදුරටත් මගේ ගමන ඉදිරියට එන්න.මගේ පාසල අම්බලන්ගොඩ ගා/ප්‍රජාපතී ගෝතමී බාලිකා මහා විද්‍යාලය.උසස් පෙළ විභාගයෙන් පස්සෙ මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න තියෙන දැඩි ආසාව නිසාම මම කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන ඩිප්ලෝමව හැදෑරුවා. දැන් මම ජන සන්නිවේදන ඩිප්ලෝමාධාරිණියක්.ඒ විදිහට තමයි මේ ගමන ආවෙ

රංගන ක්ෂේත්‍රය සහ නිරූපණය ගැන කිව්වොත්?

ක්ෂේත්‍ර දෙකටම මම ගොඩක් කැමතියි.ඒත් ඒ දෙකෙන් වැඩියෙන්ම මම වැඩ කරලා තියෙන්නෙත් ආසව තියෙන්නෙත් රංගන ක්ෂේත්‍රයට. ඒ දෙකම ලෝකයක් වසඟයට ගන්න පුළුවන් ලොවක් ආදරය කරන හොඳ ක්ෂේත්‍ර දෙකක්.

වර්තමානයේ මේ ක්ෂේත්‍ර දෙකම ගැන බොහෝ දෙනාට ලොකු පැහැදීමක් නැහැ නේද?

ක්ෂේත්‍රය දිහා පිටින් බලන කෙනෙක් ට සුළු පිරිසක්  කරන යම් යම් දේවල් නිසා මුළු ක්ෂේත්‍රයම ඒ මිම්මෙන් හිතෙන්න පුළුවන්.ඒත් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මම එහෙම දකින්නෙ නෑ.

මේ වැරදි වැටහීම් නිසා ගෙදරින් තහංචි වැටුනේ නැද්ද?

නැහැ ඇත්තටම මට පවුලෙ ඉන්න මගෙ අම්මා විතරයි.අම්මා ගොඩක් ආසයි මේ ක්ෂේත්‍රයට.පුංචි කාලෙ ඉඳන් ගෑණු ළමයෙක් විදිහට සමාජෙත් එක්ක වැඩකටයුතු කරන්න අම්මා මට කියලා දීලා තියෙනවා.මොකද තාත්තා නැති උනාට පස්සෙ අම්මා මාව හදා ගත්තෙත් තනියම නිසා.මම යන යන තැන පස්සෙන්ම අම්මා එන්නෙ නෑ අවශ්‍යම දේකට මම කතා කලොත් හැර.අම්මා දන්නවා මට තැනකට ගිහින් ප්‍රශ්න දාගෙන්නෙ නැතුව එන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් ආවත් ඒකට තනියම හරි මුහුණ දෙන්න තරම් ශක්තියක් මම ළඟ තියෙනවා කියලා එයා හැමදාම විශ්වාස කරනවා.මම ඒ විදිහට වැඩ කරනවා.

ඔබ ක්ෂේත්‍ර ගොඩක නියැලෙනවා. ඉතාමත් කුඩා වයසක් තුලින් ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

ගොඩක් සතුටුයි ඉතින්.නිහතමානී ආඩම්බරයක් තියෙනවා.මොකද මේ ගමන ආරම්භයට වඩා අද මේ තරම් හරි දුරක් මාධ්‍ය ක්ෂේත්‍රය තුල එන්න මම ගොඩක්  මහන්සි වුණා.ඒ උනන්දුව කැපකිරීම් අදටත් එහෙම්මමයි.ගොඩක් දෙනෙක් අහනවා කොහොමද මේ හැමදේම balance කරන් කරන්නෙ කියලා.යම් දෙයක් වෙනුවෙන් ආසාව උවමනාව දක්ෂතාවය තියෙනවා නම් සහ ඒ වෙනුවෙන් කැප වෙන්න වෙලාව හදාගන්න පුලුවන් නම් හැමදේම balance කරන් ගමනක් යන්න පුලුවන්

කවදා හරි වෘත්තීයට සමු දීලා, පූර්ණ කාලීනව කලාවට යොමු වෙයිද?

එහෙම අදහසක් නම් තියෙනවා.ඒත් දැන්ම නෙමෙයි.බලමු හැමදේම හොඳ විදිහට වෙයි කියලා විශ්වාසෙන් ඉන්නවා.

පෞද්ගලික ජීවිතය ගැනත් කියමු?‍

පෞද්ගලික ජීවිතේ ඉතින් සරල චාම් විදිහට ගෙනියනවා.මම හරිම කැමතියි travel කරන්න...ඉඩක් ලැබෙන හැම වෙලාවෙම නිදහසේ කොහේහරි ඇවිඳින්න කරන්න තමයි ආස.

දායක වුණ නිර්මාණ ගැනත් කියමුද?

මම රංගනයෙන් නිර්මාණ 8 කට විතර දායක වෙලා තියෙනවා. TV දෙරණ නාළිකාවේ විකාශ වූ ධරණී ටෙලිනාට්‍ය (චරිතය-තේජානි), කෝපි කඩේ (කෘෂිකර්ම නිළධාරිණී),සසර සෙවනැලි(Hiru TV),අකුරු මැකී නෑ(Hiru TV), පිය සෙනෙහස (හිරු TV ටෙලි film), මිරිඟුව (Hiru TV පෝය ටෙලිනාට්‍ය),ඊර්ෂ්‍යා (හිරු TV පෝය ටෙලිනාට්‍ය), Shadow (හිරු TV). හඬ කැවීම් ශිල්පිණියක් විදිහට නිර්මාණ 14 කට විතර දායක වෙලා තියෙනවා.

  1. සිරස TV - මේ ආදරයයි ටෙලිනාට්‍ය
  2. සිරස TV - ප්‍රවීණා දෙවන දිග හැරුම
  3. හිරු TV - තාමත් ආදරේ නැත්නම් 
  4. සිරස TV - කිසා
  5. සිරස TV - ආග්‍රා
  6. ITN - සූරිය කුසුම (චරිතය-ජේ ස්න්)
  7. සිරස TV - Wampair dogs ළමා චිත්‍රපටය
  8. සිරස TV - Hotel for dogs ළමා චිත්‍රපටය ( චරිතය - අම්මා)
  9. සිරස TV - Help I shrank my parents ළමා චිත්‍රපටය
  10. ජාතික රූපවාහිනී - රුවැති සිතැත්තී
  11. fm දෙරණ කෙම්මුර අඩවිය ගුවන්විදුලි නාට්‍ය  සහ ඉදිරියේදී විකාශනය වීමට නියමිත කාටූන් කීපයකට හඬ කැවීම් ශිල්පිණියක් විදිහට දායක වෙලා තියෙනවා.

අවසාන ව‌ශයෙන් කියමු මේ ගමනට උදව් කරපු පිරිස සහ මේ ක්ෂේත්‍රයට ආසා කරන නංගිලා වෙනුවෙන් යම් කිසි දෙයක්?

මුලින්ම මතක් කරන්න ඕන හැමදාම හැමදේකටම මාත් එක්ක මගේ සෙවනැල්ලක් වගේ ළඟින්ම  ඉන්න මගේ අම්මා ඊට පස්සෙ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මට රංගන ශිල්පිණියක් විදිහට ඉස්සරහට යන්න මුලින්ම උදව් කලේ හිරු TV ආයතනයේ Art department head මනෝජ් උදයංග අයියා. ඒ වගේම හඬ කැවීම් ක්ෂේත්‍රයේ මුලින්ම මට වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්නෙ සිරස TV ආයතනයේ හිටපු හඬකැවීම් අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රභාත් සුරංග අයියා .ඉතින් ඒ දෙන්නව ගොඩක් ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා.මට පෙර පාසලේ සිට මේ දක්වා මොනයම් හෝ විදිහකින් ගුරුහරු කම් ලබා දුන් මගේ සියලුම ගුරුවරුනුත් මගේ පවුලේ මට නිරන්තරයෙන් ශක්තියක් වෙන ඥාතීනුත්, මගේ ගමේ පන්සලේ ලොකු හමුදුරුවන් ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලත් මතක් කරන්න ඕන .මොකද මම ආර්ථික අපහසුතා මැද ඉගෙනීම් කටයුතු කරද්දි උන්වහන්සේලා මට ගොඩක් උදව් කලා.ඒ වගේම මතෙක් මම වැඩ කළ නිර්මාණ වල සියලුම අධ්‍යක්ෂකවරුන් ඇතුළු ඒ නිර්මාණ කණ්ඩායම් වල සියලුම දෙනාටත් ගොඩක් ස්තූතවෙනවා. .මම රැකියාවක් කරන අතරතුර කලා නිර්මාණ කටයුතු වලට දායක වෙන නිසා මට ඒ අවශ්‍ය දිනවල නිදහසේ ඒ වැඩකටයුතු කරගන්න අවස්ථාව සලසා දුන්න මෙතෙක් මම රැකියා කළ ආයතනවල මගේ කාර්‍යාලීය මිතුරන් සියලු දෙනාටත් ගොඩා..ක් ස්තූතිවන්ත වෙන්න ඕනමයි.නැත්නම් මට මේ හැමදේම balance කරගෙන ගමනක් එන්න ලැබෙන්නෙ නෑ.එක දෙයක් විතරක් තෝර ගන්නම වෙනවා.ඉතින් අවසාන වශයෙන් කියන්න ඕන මේ වෙනකොට මගේ ජීවිතේ හැම දුකක් සතුටක්ම මාත් එක්ක බෙදාගනිමින් මගේ හැම වැඩ කටයුත්තකටම ශක්තියක් වෙන ඒ වගේම මේ වෙන විට ලංකාවේ දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෙන "මගේ හයිය" ලක්නේෂ් රන්දික ඔයාටත් ගොඩක් ස්තූතියි මේ තරම් දුරක් මට එන්න ශක්තියක් වුණාට.

මේ ක්ෂේත්‍රයට එන්න ආස අයට කියන්න තියෙන්නෙ ක්ෂේත්‍රය ගැන ආසාව විතරක් තිබුණට ක්ෂේත්‍රයට එන්න එපා ඒ ගැන කුමන හෝ මට්ටමකට හදාරලා එන්න සහ බුද්ධිමත්ව තීරණ අරන් වැඩ කරන්න, ගරු කළ යුතු අයට ගරු කරමින් කා එක්කත් ආදරෙන් මේ ගමන යන්න.හේතුව එහෙම හැදෑරීමකින් එන අයගෙ ගමන ශක්තිමත් අඩිතාලමක් එක්කයි ගොඩ නැගෙන්නෙ.එහෙම නැති උනොත් ඔබට ඔබේ ගමන මඟදි මුණ ගැහෙන බොරුවලවල් වල වැටිලා ජීවිතේම නැති වෙන්න පුලුවන්.