ගායනය මම කවමදාකවත් වෘත්තිය කරගන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මතකද මාව තම ඔයාට.. ගීතය හරහා ඔබ අප හදුනාගත් මධුංක නශාලිත් එක්කයි මෙවර සාරවිට තරු කතාබහ දිග හරින්නට අපි සූදානම් වෙන්නේ. හිරු ස්ටාර් රියලටි තරගාවලියට එක්වෙමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි මධුංකා මේ වනවිටත් අලුත් ගීත කිහිපයක්ම එළිදැක්විමේ සූදානමකින් සිටියි. ඒ පිළිබඳව අප ඇයගෙන් මෙසේ විමසුවා.

පළමු ගිතයෙන්ම ඔබ ජනප්‍රිය තරුවක් වුණ නේද?

ඔව්, ඇත්තටම ඒකට ගොඩක් ස්තුති කරන්න ඕනා ඩිලන් ගමගේ අයියාට. ඒ අයියා තමයි මතකද මාව ගීතය කියන්න අවස්ථාව මට ලබා දුන්නේ. ඇත්තටම මම හිතුවේ නැහැ මේ ගීතය මේ තරම් මිනිස්සු අතරට යයි කියලා. නමුත්, හැමෝම මේ ගීතය ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා. ගොඩක්ම සතුටු මේක මගේ ජිවිතේ මම කරපු පළමු ගීතය නිසා. 

නමුත්, ඔබ ගයන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හිරු ස්ටාර් රියලටි තරගය හරහා කිව්වොත් අපි හරි?

ඔව්, හිරු ස්ටාර් වේදිකාව තමයි මගේ සංගීත දිවියේ ආරම්භය. ඒ වගේම මම සහභාගි වුණ පළමු සංගිත වැඩසටහනත් ඒක. හිරු ස්ටාර් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ආටිස් කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නේ කොහොමද හැසිරෙන්නේ, පුහුණුවෙන්නේ මේ හැම දෙයක්ම මම දැනගත්තේ හිරු ස්ටාර් හරහා. ඒ වගේම තමයි අපිව ආධුනිකයින් කියන ලේබලයෙන් ඉවත් කරලා වෘත්තිය මට්ටමේ ගායන තරුවක් කරන්න මාර්ගය සකසලා දුන්නෙත් හිරු ස්ටාර් වේදිකාව කිව්වොත් මම හරි.

ගායිකාවක් වෙන්න අඩිතාලම සැකසුණේ කොහොමද?

මගේ තාත්තාගෙන් තමයි මට මේ ආභාෂය ලැබුණේ. කුඩා කාලයේ ඉදලම මම ගිත ගායනයට දක්ෂයි. තාත්තා තමයි මගේ මුල්ම ගුරුවරයා වුණේ. පාසල් මට්ටමේ තරගවලට මම ඉදිරිපත් වෙලා ජාතික තරග දක්වා මම ඇවිල්ලා ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. කුඩා කාලයේ මම ටි.එන්. එල් නාළිකාව කරපු එක්ස්ටාර් ළමා වැඩසටහනේ ජනප්‍රිය අංශයේ ගායන තරුව අතරින් දෙවැනියා වුණා. ඊට අමතරව ස්වාධින රූපවාහිනියේ සමනළ උයන වැඩසටහනේ මගේ ගීත දෙකක් කළා. නමුත්, ගායිකාවක් විදිහට මාව හැඩ දලා අද මාව යම් තැනකට ඔසවලා තිබ්බේ හිරු ස්ටාර් වේදිකාව කියලා මම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා. 

රියලටි තරගයක තරුවක් වීම ගැන ඔබට හිතෙන්නේ කොහොමද?

ඇත්තටම රියලටි වේදිකාවක් කියන්නේ ආධුනිකයෙක්ට ඉදිරියට එන්න තියෙන හොඳම තැන කියලා මම හිතනවා. මොකද, රියලටි තරග අද සමාජයේ ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම සමාජ මාධ්‍යයන්වල යු ටියුබ් වල මේ හැම එකකම අද වෙන කොට හරි ජනප්‍රිය වෙලා තියෙනවා. ගම්බද පළාතක ඉන්න කෙනෙකුට වුනත් දක්ෂතාවය තියෙනවා නම් මේ හරහා ඉදිරියට ගිහිල්ලා ජනප්‍රිය වෙන්න පුළුවන්. ජනප්‍රිය වුණාට පස්සේ තමන්ගේ හැකියාව, උත්සාහය, කැපවීම මත තමයි තමන්ගේ ගමන හදාගන්න ඕනා. මම හිරු ස්ටාර් තරගයෙන් ඉවත් වුණේ 36 වැනියාට. නමුත්, මම ගායිකාවක් විදිහට හිරු ස්ටාර් වේදිකාවෙන් ලැබුණ ජනප්‍රියත්වය උපයෝගි කරගෙන අද යම් තැනකට ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා. ඉතින් ඉදිරියට යන්න හිතාගෙන ඉන්න ආධුනිකයෙක්ට තමන්ගේ ජිවිතේ එළිය කරගන්න රියලටි තරග හොඳයි කියලා මම හිතනවා.

ගායිකාවක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද?

දැනට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිදාරිණියක් විදිහට උපාධියක් ලබාගෙන ඉන්නේ. ඒ වගේම මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරනවා. තවමත් මම ඉන්නේ පුහුණු කාලය තුළ. ඉතින් මම ගායිකාවක් නොවුණා නම් මේ රැකියාව තමයි මම බොහෝ දුරට තෝර ගන්නේ. කොහොමත් ගායනය කියන දේ මම කරන්නේ විනෝදංශයක් විදිහට. ඒක මම කවමදාකවත් වෘත්තිය කරගන්නේ නැහැ.

පවුලේ අයගෙන් ගායන හැකියාව තියෙන්නේ ඔබට විතරද?

ඇත්තටම නැහැ. මා කලින් කිව්වා වගේ මගේ තාත්තාට හෙඳට ගිත ගායනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව මගේ පවුලේ මාත් එක්ක තව අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. අක්කලා තුන්දෙනාම උපාධිදාරිණියෝ. ඔවුන්ටත් හැකියාව තියෙනවා ගීත ගායනා කරන්න. නමුත්, ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ මම විතරයි. මම හිතනවා මට වඩා හොඳට මගේ දෙවැනි අක්කාට ගීත ගායනා කරන්න පුළුවන් කියලා.

සමාජ මාධ්‍යයන් තුළ මධුංක ජනප්‍රියද?

සමාජ මාධ්‍යයන් කියන්නේ දැන් ගොඩ දෙනෙක් භාවිතා කරන දෙයක්. ඉතින් මගෙත් රසික පිටු තියෙනවා සමාජ මාධ්‍යයන් තුළ. ඒ වගේම යු ටියුබ් චැනල් එකක් තියෙනවා. මාත් සමාජ මධ්‍යයන් අතර සාමන්‍ය විදිහට සැරිසරණ කෙනෙක්. මගේ පළමු ගීතය ගොඩක්ම ජනප්‍රිය වුණෙත් සමාජ මාධ්‍යයන් තුළ. ඒ හින්දා මම හිතනවා මාව යම් තරමකට මේ සමාජජලවල ජනප්‍රියයි කියලා.

සටන හා ඡායාරූප - බුද්ධික සේනාධීර