චන්ද්‍රපාණි කියලා අදටත් මාව අඳුන්වන පිරිසක් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ දකින ජනප්‍රිය ටෙලි නිර්මාණ අතරේ සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට සුවිශේෂි තැනක් හිමිවෙයි. එහි සමන්දිනිගේ චරිතයට පණ පොවන ඉෂංකා අබේසේකර මෙවර සාරවිට තරු කතාබහට අප සමග මෙසේ සම්බන්ධ වුණා. වර්තමානයේ බොහෝ තරුණ, තරුණියන්ගේ සිත්ගත් රංගන ශිල්පිණියක් බවටද පත්ව ඇති ඉෂංකා නුදුරේම තවත් කලා නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින්ද සිටියි.

මේ දිනවල ඉෂංකාව ටෙලි නිර්මාණ කිහිපයකින්ම අපි දකිනවා..

ගොඩක් කට්ටිය මේ දිනවල මාව අඳුනන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනි කියන චරිතය හරහා. ඊට අමතරව පසුගිය දිනවල බන්ධනා ටෙලි නාට්‍යයේ හර්ෂි ටිචර් විදිහට ප්‍රේක්ෂකයින් අතරට මම ගියා.

සමන්දිනි කියන්නේ අද ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඊට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඇත්තටම සමන්දිනිට ගොඩක් මිනිස්සු ආදරේයි. ලංකාවේ වගේම විදෙස් ගත වෙලා ඉන්න බොහෝ දෙනෙකුගේ විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ දිනවල ගොඩක් සතුටින් මම ගෙවනවා ඒ ලැබෙන රසික ප්‍රතිචාර මත.

කලා ක්ෂේත්‍රයට ඉෂංකාගේ පැමිණිම සිදුවන්නේ කොහොමද?

මම කලා ක්ෂේත්‍රයට එන්නේ මට වයස අවුරුදු 17ක් විතර වෙද්දි. ගවර්මන්ට් එකෙන් කරපු පොටෝ ෂුට් එකක් හරහා. නමුත්, ඒ හරහා මාව ලොකුවට මිනිස්සු අඳුනගන්නේ නැහැ. හැබැයි දැන් රංගන ශිල්පිණියක් විදිහට ගොඩක් අය මාව දන්නවා.. අඳුනනවා.

දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද. ඒ ගැන කියමු?

ගීත රූප රචනා හයකට විතර මම දැනට දායක වෙලා තියෙනවා. ඒ වගේම මම දායක වුණ තව ගීත රූප රචන දෙක තුනක් එන්න තියෙනවා. රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයක් වගේම මේ දිනවල විකාශය වෙන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නිර්මාණ කිහිපයකටම මම දැන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම තව කෙටි චිත්‍රපටයකත් රඟපාලා තියෙනවා.

ඔය අතරේ ප්‍රේක්ෂකයේ අතරට ගිය චරිතත් තියෙනවාද ඉෂංකාගේ?

මිනිස්සු මාව අදුනගන්නේ මුලින්ම 2019 වසරේ. ඒ චන්ද්‍රපාණි කියන ගීත රූප රචනාව හරහා. අදටත් මගේ නම ඉෂංකා වුණට චන්ද්‍රපාණි නමින් තමයි බොහෝ දෙනෙකු කතා කරන්නෙත් අඳුන්වන්නෙත්. ඒ වගේම කියන්න ඕනා චන්ද්‍රපාණි කියන්නේ මගේ ජිවිතේ කේන්ද්‍රීය ස්ථානයක්. චන්ද්‍රපාණිට පස්සේ ගොඩක් ප්‍රේක්ෂකයින් මා ගැන කතා කරන්නේ කියා දෙන්න ආදරේ ටෙලි නාට්‍යයේ සමන්දිනි කියන චරිතය තුළින්.

මේ ක්ෂේත්‍ර තුළ ඔබ රංගන ශිල්පිණියක් විදිහට දැන් ස්ථාවරද?

ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීමක් අපිට හදාගන්න ටික කාලයක් යනවා. නමුත්, මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කලින් ඉඳලාම මගේම කියලා ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන ගියා. අදටත් ඒ ව්‍යාපාර කටයුතු සිදුවෙමින් පවතිනවා. මම කලාව කලාවක් විදිහට දකින්න කැමතියි. එකෙන් මම හම්බ කරන්න කැමති නැහැ. අපි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හම්බ කරන එක ගැන හිතුවොත් කලාව කියන දේ මඟ හැරෙනවා. ඒ වගේම කලාවේ සුන්දරත්වය විඳගන්න බැරි වෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන ඕනෑම කෙනෙක්ට මම කියන්න කැමතියි මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා එහෙම ලොකුවට ස්ථාවර වීමක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.

ඔබ මොන වගේ කෙනෙක්ද?

ඉෂංකා කියන්නේ හරි ගැඹුරුවට හිතන කෙනෙක්. ඇත්තටම දකින කෙනෙක්ට සැහැල්ලු සරළ චරිතයක් කියලා මාව පේන්න පුළුවන්. හැබැයි එහෙම මම නැහැ. මොකද, මම ගොඩක්ම හැදෙන්නේ මගේ තාත්තායි ආච්චි අම්මායි එක්ක. තාත්තා එක්ක හැදුණ නිසාද මන්දා මම ටිකක් දැඩි තිරණ ගන්න කෙනෙක් වෙලා තියෙනවා. ඒ වගේම මගේ ආච්චි අම්මාගේ ගතිගුණත් මා සතුව තියෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. පොඩි කාලේ නම් මම ගොඩක් අහිසංක චරිතයක්. වයසත් එක්ක සමාජය සමග ගැටෙද්දි දැන් නම් මම එහෙම අහිසංක චරිතයක් නෙමෙයි කියලා හිතෙනවා.

සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර