චාමිකයි, වනිඳුයි කියන්නේ මම ආසම ක්‍රීඩකයෝ දෙන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිර්මාණ අතලොස්සකට පමණක් දැනට දායකව ඇති නවක කලා ශිල්පිණියක් වන පෙමිණි අසංශා මෙවර සාරවිට තරු කතාබහට අප සමග මෙසේ සම්බන්ධ කරගත්තා. තවමත් පාසල් අධ්‍යාපනය හදාරණ ඇය ඉදිරියේදී විවිධ කලා නිර්මාණයන් ඔස්සේ ඉදිරි කාලයේදී ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබේ.

පෙමිනි කියන්නේ කවුද?

ගෙදරදි නම් ගොඩක් දඟ කෙනෙක්. මමනේ පවුලේ බාලයා. ඒ හින්දා ටිකක් විතර දඟයි. හැබැයි හරි නපුරුයි. ඉක්මණට කේන්ති යනවා. ඒ වුණත් අහිංසකයි හොඳ ළමයෙක්. ගොඩක් දුක හිතෙන හිතකුත් තියෙනවා. සත්තු එහෙම අසරණ වෙලා ඉන්න කොට ඒ අයට උදව් කරන්න මගේ හිත උණු වෙනවා. ගොඩක් සංවේදි කෙනෙක් මම.

තවමත් ඔබ පාසල් යනව නේද?

ඔව්, කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ තමයි මම ඉගෙනුම ලබන්නේ. මේ වසරේ තමයි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ. පාසලේ නම් නර්තනය, රංගනය මේ හැම දෙයක්ම විෂයක් විදිහට මම හදාරනවා.

විවිධ දේවල්වලට ඔබ දක්ෂයිනේ. ගීත ගයන්න හැකියාවක් නැද්ද ඔබට?

ගීත ගායන්න නම් මට හැකියාවක් නැහැ. හැබැයි ගිත ගයන්න මම ගොඩක් ආසයි. විවේකයෙන් ඉන්න වෙලාවට ගොඩක්ම මම කරන්නේ ගීත අහන එක තමයි. ගීත ගයන්න නම් පුළුවන් හැබැයි ඉතින් ඒවා අහන් ඉන්න තමයි බැරි.

තව මොනවටද ඔබ දක්ෂ?

කලාවට අමතරව ක්‍රීඩාවලට මම ආසයි. හැබැයි තවමත් මම ඒවාට සම්බන්ධ වෙලා නැහැ . අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන මේ දිනවල ඊට අවධානය යොමු කරලා තියෙන නිසා ක්‍රීඩාව පැත්ත ගැන නම් දැන් ලොකුවට මම හිතන්නේ නැහැ. 

පාසල් අධ්‍යාපනය නිමාවත් සමග පෙමිනිගේ ඉදිරි සැළසුම් මොනවද?

මට ආසයි පශු වෛද්‍යවරියක් වෙන්න. මොකද, සත්තුන්ට මම ගොඩක් කැමතියි. ඊට අමතරව හොබි එකක් විදිහට නිරූපණයට වගේම රංගනයටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න මම කැමතියි. 

පශු වෛද්‍යවරියක් වෙන්න හිතුවේ ඇයි ඔබ?

මම කලින් කිව්වා වගේ මම ගොඩක් සතුන්ට ආසයි. දැනටත් මගේ ගෙදර බල්ලෝ, පුසෝ, ගිරව්, හාවෝ, ලේන්නු වගේ සත්තු ඉන්නවා. පාරේ හැප්පිලා අසරණ වෙච්ච සත්තු එහෙම මම ගෙදර ගෙනැල්ල වෛද්‍යවරයෙකුට පෙන්වලා ප්‍රතිකාර එහෙම ලබා දීලා හදාගෙන තියෙනවා. සත්තුත් එක්ක ඉන්න කොට ලොකු සතුටක් මට දැනෙනවා. පශූ වෛද්‍යවරියක් වීමේ ආසාව මට ඇති වුණේ ඒ නිසා කිව්වොත් මම හරි. 

අද ගොඩක් ගැණු ළමයි ක්‍රිකට්වලට ආසයි. ඔබත් එහෙමද?

ක්‍රිකට්වලට ආසයි. ක්‍රිකට් තරග නම් දැන් මම ගොඩක් බලනවා. මොකද, ලංකාවේ ක්‍රිකට් අද ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන නිසා.

පෙමිනි කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවද?

කැමැතිම ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. චාමික කරුණාරත්නයි, වනිදු හසංරංගයි. ඒ දෙන්නට කැමති වෙන්න ලොකුම හේතුව තමයි ඒ අය ගොඩක් කඩවසම්. ඊට අමතරව ඒ දෙන්නා ක්‍රීඩා කරන විලාශයට ආසයි. අනික් කාරණය තමයි ඒ අයගේ දක්ෂතා. හැම වෙලාවෙම කණ්ඩායම වෙනුවෙන් සියයට සියයක් උපරිමය දෙන්න ඒ දෙන්නා බලනවා.

දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?

හොබි එකක් විදිහට කලා කටයුතුවලට දැනට මම දායක වෙනවා. මුලින්ම කලා නිර්මාණයකට එකතු වුණේ දිමංක වෙල්ලාලගේ අයියාගේ %ආදරේ වස්තු^ ගීත රූප රචනාවට. චිත්‍රපට, ටෙලි නාට්‍යය, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වගේ දේවල් ගොඩකට මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න ඕනා නිසා මගේ පවුලේ අය ඒ දේවල් වලට මාව සම්බන්ධ කළේ නැහැ. නමුත්, කරපු නිර්මාණ කිහිපයක් මගේ එන්න තියෙනවා ඉදිරියට.

ගොඩක් අය අද තරු අනුකරණය කරනවා. ඔබත් එහෙමද?

කැමතියි කියලා එහෙම ජනප්‍රිය තරුවක් මට නැහැ. ඒ වගේම තමයි මම කාවවත් අනුකරණය කරන්නේත් නැහැ. මොකද, මං ආසයි මගේ විදිහට යන්න මේ ගමන. පෙමිණි කියන චරිතයක් මිනිස්සුන්ට දෙන්න මම කැමතියි. 

තරුණ අය අද ගොඩක් වෙලාවට ජිවිතේ ගෙවෙන්නේ සමාජ මාධ්‍යයන් සමග. පෙමිනිත් එහෙමද?

සමාජ මාධ්‍යයන් මම පාවිච්චි කරන්නේ නැහැ. මොකද, තවමත් මම පාසල් අධ්‍යපනය ලබන නිසා. නමුත්, ඉදිරියට මගේ වෘත්තින් එක්ක ඒ වගේ සමාජ මාධ්‍යයන් සමගක ගණුදෙනු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඡායාරූප හා සටහන - බුද්ධික සේනාධීර