ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් මට තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා පිලිපිනයේ මැනිලා නගරයේ පැවති විවාහක ලෝක මිහිකත රූපරාජිණි (Mrs Earth International 2023) තරගයේ ජයග්‍රාහිකාව වන්නට සමත් වූයේ ශ්‍රී ලංකාවේ සෂ්මි දිසානායකය. රටවල් බොහෝමයක තරගකාරියන් පණහකට අධික ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරගයේදී මිහිකත කිරූළට අමතරව තවත් මිණි කිරූළ හතරක්ද දිනා ගැනීමට ඇයට හැකිවිය.

මෙවර විවාහක මිහිකත රූපරාජිණිය ඔබයි..

ඔව් ගොඩක් සතුටුයි ඒ ගැන. මේ වගේ ජාත්‍යන්තර රූපරැජිණ තරගයක කිරූළක් ලංකාවට හිමි කර දෙන්න ලැබුණ එක ගැන. ඒ වගේම මේ තරගයේදී මට මිණිකිරුළු හතරක් හිමිවුණා. ඒ අතරින් බෙස්ට් ඉන් කැට්වෝක් කියන කිරූළ මේ වගේ ලෝක මට්ටමේ තරගයකින් අපේ රටට හිමිවුණ පළමු අවස්ථාව මේක.

අවසන් තරගයට සුදුසුකම් ලබද්දි ජයග්‍රහණයක් ගැන විශ්වාසයක් තිබුණද..

ඔව්, මොකද, මම මේ තරගයට යන්න කලින් මේ තරගය ගැන ලොකු අවබෝධයක් ලබාගෙන තිබුණා. ඒ වගේම තරගය ඉලකක් කරගෙන මම හොඳට පුහුණුවුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා රුක්මල් සේනානායක සර්ව. ඔහු තමයි මාව මේ තරගයට පුරුදු පුහුණු කළේ. ඇත්තටම ඒ පුහුණුව මේ ජයග්‍රහණයට ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. අනික මේ තරගයේදී මම හැම තරගවටයකදීම වෙනස් දේවල් ඉදිරිපත් කළා. ටැලෙන්ට් රවුන්ඩ් එකේදී මම කළේ Fire Act එකක්. ඒක කාගෙත් අවධානය දිනපු අංගයක් වුණා.

ජාතික හා ජාත්‍යන්තර තරගවලදි ඔබ දුටු වෙනස කොහොමද..

ලංකාවේ තරගයේදී මම තරග කළේ අපේම සහෝදර තරගකාරියන් එක්ක. නමුත්, ලෝක රූපරාජිණි තරගයේදී මම තරග කළේ වෙනත් රටවල්වල තරගකාරියන් එක්ක. ඒ කියන්නේ මම වගේම ජාතික තරගවලින් ජයගත් පිරිසක් එක්ක. එතකොට ලෝක මට්ටමේ තරගයට එන්නේ ඒ රටේ ඉන්න දක්ෂම කෙනා. ලොකු තරගකාරිත්වයක් එතැන තියෙනවා. ඒ වගේම ඒ රටවල ඉන්න අයගේ භාෂාව සංස්කෘතිය වෙනස්. එහෙම බලන කොට ජාතික හා ජාත්‍යන්තර කියන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස්.

ඔබ විවාහක බිරිඳක්. පවුලේ අයගෙන් ලැබුණ සහය මොන වගේද..

මගේ පියා හා සැමියාගේ ව්‍යාපාර කටයුතුවලට සහය වෙමින් හිටිය කෙනෙක් මම. මේ වගේ තරගයකට යන්න මගේ පියා කොහොමත් කැමති වුණේ නැහැ. ඒත්, මාව තේරුම් ගත්තු හොඳ ආදරබර සැමියෙක් මට ඉන්නවා. ඉතින් ඔහුගේ උදව්වෙන් තමයි මම මේ තැනට ආවේ. තාත්තා මුලින් අකමැත්ත පළ කළත් පස්සේ ලංකාවේ මිහිකත රැජිණ වුණාට පස්සේ ඔහුගේ උදව්වත් මට උපරිමයෙන්ම ලැබුණා. මගේ පවුලේ අයත් එහෙමයි. මේ දිනපු කිරුළේ අයිතිය ඔවුන්ටත් තියෙනවා කියලයි මම හිතන්නේ. මීට අමතරව ජාතික සංවිධායක චරිත් ගුණසේකර. වගේම තාරක ගුරුකන්ද හා ලලිත් පැරකුම් කියන මහත්වරුන්වත් මම මේ මොහොතේදී මතක් කර සිටිනවා.

ඔබේ ජයග්‍රහණය ගැන ලොකුවට කතා වුණේ නැහැ නේද?

ඇත්තටම ඒක ලොකු කණගාටුවක්. මොකද, මේක ලංකාවට ලැබුණු ලෝක මට්ටමේ ජයග්‍රහණයක්. නමුත්, මේ ජයග්‍රහණයට නියම වටිනාකමක් අදටත් ලැබිලා නැහැ. වෙන රටක නම් මේ වගේ ලෝක මට්ටමේ කිරූළක් ගේනවාම ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒත්, අපේ රටේ එහෙම පිළිගැනීමක් මේ කිරූළට තිබුණේ නැහැ.

මෙතැනින් එහාට ඔබේ අනාගතය?

රඟපාන්න කැමැත්තක් තියෙනවා. නමුත්, ඕනැම දෙයක් කරන්න කලින් මම ඒ ගැන දැනුමක් ගන්නවා. ඉතින් රංගනය ගැන දැනුමක් අරගෙනම ඒ ක්ෂේත්‍රයට යොමු වෙන්න මම හිතාගෙන ඉන්නවා. නිරූපණය ක්ෂේත්‍රයට වුණත් මම සම්බන්ධ වුණේ ඒ ගැන දැනුමක් අරගෙන. ඊට අමතරව මිහිකත රූපරාජිණිය වෙලා මට කරන්න ව්‍යාපෘති කිහිපයක් තියෙනවා. ඉතින් ඉදිරියේදී ඒ දේවල්වලටත් යොමුවෙන්න හිතාගෙන ඉන්නවා.

බුද්ධික සේනාධීර
ඡායාරූප සජිව ලක්ෂාන්