තාත්තා නම් මම රඟපානවට කැමති වුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ ‘කිරූළි’ ලෙස රංගනයෙන් දායක වෙන ෂේනායා වැන්හොෆ් මෙවර ‘සාරවිට’ තරු කතාබහට අප සමග මෙළෙස සම්බන්ධ වුණේමු.

‘හිත ළඟ හිනැහුණා’ ෂේනායාගේ පළමු ටෙලි නාට්‍යයද?

නැහැ. ඊට කළින් ටෙලි නාට්‍යයක් කළා. ඒක විකාශය වුණේ නැහැ. ‘හිත ළඟ හිනැහුණා’ කියන්නේ මගේ දෙවැනි ටෙලි නාට්‍යය.

කොහොමද මේකට සම්බන්ධ වුණේ?

තිර රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි සර්ගේ මාර්ගයෙන්. ඔහුට මාව අඳුන්වලා දුන්නේ අශේන් රත්නායක අයියා.

ඔබ දායක වෙන ‘කිරූළි’ චරිතයට කොහොමද ලැබෙන රසික ප්‍රතිචාර?

ඉතා හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ‘කිරූළි’ හරහා තමයි මාව රංගන ශිල්පිනියක් විදිහට පළමු වතාවට ප්‍රේක්ෂයෝ දකින්නේ. පළමු රංගනයෙන්ම මෙවැනි ප්‍රතිචාර ලැබීම ගැන ගොඩක් සතුටුයි මට.

‘කිරූළි’ චරිතය ඔබේ ජිවිතේට සමානද?

එහෙම හිතනවා. නමුත්, ‘කිරූළ’ තරම් මම ෂෝශල් නැහැ. හැබැයි සමහර අවස්ථාවලදි ‘කිරුළි’ වගේ ගතිගුණ මට තියෙනවා කියලා හිතෙනවා.

රංගනය පැත්තට යොමු වෙන හිනයක් තිබුණාද?

ඔව්, තිබුණා. නමුත්, ඒක අහම්බෙන් සිදුවුණ දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද මම ඉස්සර ගොඩක් මහත කෙනෙක්. එහෙම ඇගක් තියෙද්දි රඟපානවා කියන්නේ හිතාගන්නත් බැරි දෙයක්. කොහොම හරි අද මම කලාව පැත්තට සම්බන්ධ වෙලා තියෙනවා.

පාසලේ කලා කටයුතුවලට එහෙම සම්බන්ධ වෙලා තියෙනවාද?

නැහැ. නමුත්, පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම දිලිප ආරියරත්න සර් ගාව හිස් හොප් ඩාන්සින් ඉගෙන ගත්තා. ඊට පස්සේ රූපවාහිනි වෙළෙඳ දැන්විම්වලට පෙනි හිටියා. පාසල් යන කාලේ නම් කළේ චිත්‍ර අඳින එක. අදටත් මම විවේකයක් ලැබෙන කොට චිත්‍ර අඳිනවා.

පවුලේ අය කැමතිද ඔබ රංගනය පැත්තට යොමු වුණාට?

අම්මායි මගේ අක්කලා තුන් දෙනයි නම් ගොඩක් කැමතියි මම රංගනය පැත්තට යොමු වුණාට. ඒත්, තාත්තා නම් මුලදී අකමැති වුණා. මම ඩාන්සින් ඉගෙන ගත්ත දිලිප සර් තමයි තාත්තාට කරුණු අවබෝධ කරලා මට රංගනය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලබාදුන්නේ. අද තාත්තටත් ආසයි මම රංගන ශිල්පිනියක් විදිහට දකින කොට.

දිගටම රංගනය පැත්තට යොමු වෙන්නද අදහස?

දිගටම මේ වෘත්තියේ වැඩ කරන්න කැමතියි. නමුත්, කාලයක් එනවා අපිට මේ වෘත්තියෙන් ඉවත් වෙන. අන්න ඒ කාලේ වෙනකම් මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා.

මතක් කළ යුතු අය කවුද?

මට මේ අවස්ථාව ලබාදුන්න මහේෂ් රත්සර සර් වගේම ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ධනුෂ්ක සර් මේ වෙලාවේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. රූපගත කිරිම්වලදී මා අතින් කොච්චර වැරදි වුණත් ධනුෂ්ක සර් කවදාවත් මට බැනලා නැහැ. ඔවුන් දෙදෙනාට අමතරව මගේ නර්තන ගුරුතුමා දිලිප ආරියරත්න සර්ව. මගේ තාත්තා, අම්මා වගේම මගේ අක්කලා තුන්දෙනා විශේෂයෙන්ම දෙවැනි අක්කා. ඒ අය ගොඩක් මට උදව් කරනවා මගේ රංගන කටයුතුවලට.

බුද්ධික සේනාධීර