තවමත් මම රංගනය ගැන ඉගෙන ගන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින නදිෂා නිලුන්දි වෙනුවෙන් අපි මෙවර ‘සාරවිට’ තුළින් ඉඩක් වෙන් කරන්නට සිතුවා. රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද වර්තමානයේ කටයුතු කරන නිලුන්දි තම අලුත්ම තොරතුරු අපිට මෙසේ පැවසුවා.

කලාවට ඔබගේ පිවිසිම සිදු වුණේ කෙහොමද?

ශලනි තාරකා ජයගත් පළමු ‘සිරස කුමරිය’ තරගයට සහභාගි වෙලා. මම ඒ තරගයේ තුන්වැනි වටය දක්වා ආවා. කලාවට එකතු වුණ මගේ ගමනේ මුල්ම අඩිතාලම වැටුණේ එතැනින්.

නමුත්, ඊට පස්සේ ඔබ හෙදියක් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තා?

ඔව්, අදටත් මම ඒ ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් ඉන්නවා. හෙදියක් විදිහට වැඩ කළත් මගේ ආසාව තිබුණේ රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් විදිහට කලාවට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඒ අදහස පෙරදැරි කරගෙන තමයි අද මම මේ වෘත්තින් දෙකම සමබර කරගෙන වැඩ කරන්නේ.

රූපරාජිණි තරගවලටත් ඔබ සම්බන්ධ වුණා. ඒ ගැනත් විස්තර කියමු?

2018 වසරේ මම මිස් ශ්‍රී ලංකා යුනිවර්ස් තරගයට සම්බන්ධ වුණා. එකේ මිනි ටයිටල් එකක් ජයග්‍රහණය කළා. පස්සේ මම කැරොලැයින් ජූරි ජයගත් මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් තරගයට ගියේ. මම ඒ තරගේ අවසන් 16 දෙනා අතරට තේරුණා. ඒ තරගය සංවිධානය කළේ ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ අයියා.

මේ දිනවල ඔබ ටෙලි නාට්‍යය කිහිපයකම අපි දකිනවා?

ඔව්, චාමර පෙරේරා අධ්‍යක්ෂණය කරන, රොහන් පෝල් නිෂ්පාදනය කරන ‘එන්කවුන්ටර්’ ටෙලි නාට්‍යයේ මාව දකින්න පුළුවන්. සියතේ රැ 9ට යන මෙම ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ. මම ඉන්නේ නිපුනි කියන චරිතයට. ඊට අමතරව කෝපි කඩේ ටෙලි නාට්‍යයෙත් මම රඟපානවා. පොඩි කාලේ ඉඳලා ආසාවෙන් නරඹපු ටෙලි නාට්‍යයක මම හිතුවේ නැහැ මට රඟපාන්න ලැබෙයි කියලා. මේ අවස්ථාව ලබා දුන්න ගයාන් මහේලගේ අයියාට ගොඩක් ස්තුතියි. ගොඩක් ආසාවෙන් කරපු චරිතයක් තමයි මම කෝපි කඩේ ටෙලි නාට්‍යයේ පෙනි ඉන්නේ. ඒ එක්කම දෙරණ නාළිකාවේ මේ දිනවල විකාශය වෙන මල් පිපෙනා කාලේ ටෙලි නාට්‍යයේ අමාලි විදිහටත් මම රඟපානවා.

ටෙලි නාට්‍යයවල විතරද ඔබ රඟපාලා තියෙන්නේ?

ගීත රූප රචනා, වෙළෙඳ දැන්විම් ගොඩකට සම්බන්ධ වෙලා ඉන්නවා. තව ඒ වගේ නිර්මාණ කිහිපයකටම දැන් ආරාධනා ලැබිලාත් තියෙනවා. ටෙලි සිනමාවකටත් මම සම්බන්ධ වුණා. මේ දිනවල එරන්ද පලිහක්කාරගේ අලුත් ටෙලියකටත් එකතු වෙලා වැඩ කරනවා.

රූපය විතරක් ප්‍රමාණවත් නැනේද රංගන ශිල්පිනියක් වෙන්න?

කොහෙත්ම නැහැ. අදටත් මම රංගනය ගැන ඉගෙන ගන්නවා. ප්‍රවිණ රංගන ශිල්පින් එක්ක වැඩ කරද්දි රංගනය කියන දේ ඉගෙන ගන්න ලේසියි. අනික ඒ අය අපි වගේ නවකයින්ට රංගනය ගැන ගොඩක් දේවල් කියලා දෙනවා. තවම රංගනය කියන දේ ගැන මට ලොකු අත්දැකිමක් අවබෝධයක් නැහැ. ඇත්තටම මම පාසල් කාලේ කිසිම කලා කටයුත්තකට දායක වුණ කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ ඇගේ රංගනය කියන දේ තියෙනවා. දැන් ඕනා ඒක ඔපමට්ටම් කරගන්න.

බුද්ධික සේනාධීර