දකුණු ඉන්දීය තරුණයන්ගේ සිහින කුමරිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල අති සාර්ථකව ප්‍රදර්ශනය වන දකුණු ඉන්දීය චිත්‍රපටයක් තමයි වාති කියන්නේ. වෙන්කි අත්ලූරි අධ්‍යක්ෂණය කරපු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දකුණු ඉන්දීය සිනමාවේ සිහින කුමරු ධනුෂ්. ඔහුගේ පෙම්වතිය මිනක්ෂි විදිහට දායක වෙන්නේ මලයාලම් සිනමාවෙන් රංගනයට ආ සම්යුක්තා මෙනුන්.

සම්යුක්තාගේ කේරළයේ පලක්කාඩි ගමේ ඉපදුණ කෙනෙක්. වාර්තා වෙන විදිහට ඇයගේ වයස දැන් හරියටම අවුරුදු විසිහතයි. ඉන්දීය සිනමාවට මුලින්ම සම්යුක්තා සම්බන්ධ වෙලා තියෙන්නේ ඇයට වයස අවුරුදු විස්සේදි. ඒ පොප්කෝන් කියන මලයාලම් චිත්‍රපටය හරහා. විශ්වාස කරනවද ඒ වෙන කොටත් ඇය ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිදාරිණියක්.

එහෙත්, ඇය ඉගෙනගත්දේට ආයුබෝවන් කියලා දිගටම සිනමාවට දායක වෙන්න තිරණය කරලා තියෙනවා. 2019 වසර තමයි සම්යුක්තාගේ හොඳම කාලය. ඒ කියන්නේ ලෝකය පුරා කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙන්න කලින්.  ඇය රංගනයෙන් දායක වූ මලායලම් චිත්‍රපට හයක් ඒ වසරේදී ප්‍රදර්ශනය වෙනවා. දුල්කිර් සල්මාන්, ටොවිනෝ තෝමස්, ජයසූරිය කියන ජනප්‍රිය මලයාලම තරු සමග තමයි සම්යුක්තා මෙහි රඟපාන්නේ.

වසර කිහිපයක් මලයාලම්  සිනමාවට කොටු වෙලා හිටිය සම්යුක්තාට දකුණු ඉන්දීය අනෙකුත් සිනමාවලට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ 2022 වසරේ. ඒ අතරින් ඉරිදා කියන චිත්‍රපටය විශේෂ එකක්. ඇය එහි රඟපාන්නේ දැනට ඉන්දීය සිනමා නිර්මාණ සියයකට අධික ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී ඇති 65 වැනි වියෙහි පසුවන නසීර් සමග.

අද වෙන කොට ඉන්දියාවේ සුපිරි නිළියන් අතර සම්යුක්තා ඉන්නවා. හොඳම උදාහරණය තමයි ඇය වටා මේ වනවිට ඉන්න රසික පිරිස. ඉන්ස්ටර්ග්‍රැම්ස් ගිණුමේ පමණක් ඇයට රසික, රසිකාවියන් මිලියන 2.9ක් සම්බන්ධ වී සිටිනවා. ෆේස්බුක්, ටිවිටර් වැනි සමාජ පිටුවලත් ඊට සමාන පිරිසක් ඇය සමග එකතු වී ඇති බවට තොරතුරු පළවෙනවා.

ලංකාවේ වුණත් සම්යුක්තාව දැන් අඳුනන පිරිස වැඩියි. එහෙම වුණේ වාති චිත්‍රපටයේ ඇය කළ රංගනය හරහා කිව්වොත් හරි. ඉන්දියාවේ විතරක් නෙමෙයි ලෝකයේම සම්යුක්තා දැන් ආදරය කරන තරුණ පිරිසක් ඉන්නවා. මේ වසරේ වාති හැරෙන්නට බුම්රංග් කියන මලයාලම් චිත්‍රපටයෙන් අපිට සම්යුක්තා දැකගන්න පුළුවන්.

බුද්ධික සේනාධීර