දකුණු ඉන්දීය සිනමාව කළඹවන මලයාලම් කෙල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මලයාලම් සිනමාව හරහා රංගනයට පිවිසි තවත් සුරූපි යොවුන් නිළියක් තමයි මාලවිකා මෝහනන් කියන්නේ. දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ කැමරා ශිල්පියෙකු වන කේ. යූ මෝහනන්ගේ එකම දියණිය වන්නේද මාලවිකා. කේරළයේ කන්නූර් දිස්ත්‍රික්කයේ පයානුර් නගරයේ උපන්නියක් වුණත් ඇය හැදී වැඩෙන්නේ මුම්බායි නගරයේ.

මුම්බායි හි විල්සන් විද්‍යාලයෙන් මුලීක අධ්‍යාපනය ලැබු ඇය පසුව ජනමාධ්‍ය පිළිබඳව උපාධියක්ද හදාරන්නට කටයුතු කර තිබුණ අතර, ඒ ඉන්දීය සිනමාවට එක්වීමේ අදිටනින්ය. එහෙත්, මාලවිකාගේ අරමුණ වූයේ රඟපාන්නට වඩා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරන්නටය.

ඇයට අහම්බෙන් 2013 වසරේදී සිනමාපටයකට එක්වන්නට අවස්ථාව ලැබුණ අතර, ඒ පට්ටම් පොලී නම් මලයාලම් චිත්‍රපටය සඳහාය. පළමු සිනමා රංගනයෙන් පසුව රංගනය පිළිබඳව හදාරන්නට කටයුතු කළ මාලවිකා කුඩා කාලයේ තමන්ගේ ඉලක්කය වී තිබුණ ඇඳුම් විලාසිතා නිර්මාණය කෙරෙහිද  සිත් යොමු කරන්නට මේ කාලය යොදා ගත්තාය. රංගනය ගැන හැදෑරිම් නිමා  කළ පසු 2015 වසරේදී මාලවිකා නැවතත් සිනමා තිරයේ දකින්නට ලැබුණ අතර, ඒ නිර්නායකම් චිත්‍රපටය ඔස්සේය.

මලයාලම් සිනමාවට අමතරව හින්දි හා කන්නඩ සිනමාවටත් ඔය අතරේ දායක වූ මාලවිකා පළමු වතාවට ප්‍රධාන චරිතයක් සඳහා එක් වූයේ ද ග්‍රේට් පාදර් චිත්‍රපටයේය. 2017 වසරේ ප්‍රදර්ශනය වූ  මෙම ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයේ මාලවිකා සමගින් මම්මූටි, ආර්යා වැනි සුපිරි සිනමා තරුද එක්ව සිටි අතර, එය ආදායම් ලැබිම අතින්ද අති සාර්ථක එකක් බවට පත් විය.

මාලවිකාගේ සිනමා දිවියේ වෙනස් වන්නට පටන් ගත්තේ එතැන් සිටිය. සුපිරි නළු රාජිනිකාන්ත්ගේ පෙට්ටා, විජේගේ මාස්ටර් මෙන්ම ධනුෂ්ගේ මාරන් වැනි අති සාර්ථක දමිල චිත්‍රපටවල රඟපාන්නට ඇය වාසනාව උදා වූ අතර, එම චිත්‍රපට ලැබු අති සාර්ථකත්වය නිසාම ඇය දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් බවටද පත් විය. එමෙන්ම ඒ කාලයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ පසුවු සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළියන්ටද මාලවිකා අභියෝගයක් වන්නට වූවාය.

රංගන ශිල්පිණියක්, මෝස්තර නිරූපිකාවක් මෙන්ම ඇඳුම් නිර්මාණ ශිල්පිණියක් ලෙස ඉන්දියාව පුරාම මාලවිකා අද වනවිට ජනප්‍රිය වී ඇත. වර්තමානයේ ඉහළ ආදායමක් උපයන සිනමා නිළියක් බවට පත්ව ඇති ඇය දැනට ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ජනප්‍රිය වූ සඟරා කිහිපයකම මුල් කවරය සිය රුවින් හැඩ කරන්නටද අවස්ථාව උදා විය.

මේ වනවිට සිය 30 වැනි විය ගෙවා දමමින් සිටින මාලවිකා තවමත් අවිවාහක තරුණියකි. එහෙත්, ජනප්‍රිය සිනමා නළුවන් කිහිප දෙනෙකුගේම පෙම්වතියක් බවට පත්ව තිබුණේ අප්‍රසිද්ධියේය. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයන් හි ක්‍රියාකාරිණියක්ද වන ඇයගේ සමාජ පිටු අතරට එක්ව සිටින රසික පිරිස අද වනවිට මිලියන ගණන් ඉක්මවාද ඇත.

බුද්ධික සේනාධීර