දැන් එහෙම කෙනෙකුත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019 දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිශේක ලබමින් රංගනයට පිවිසි ඇය දමිත්‍රි සුබසිංහයි. රංගනයට මෙන්ම නර්ථනයට දක්‍ෂතා දක්වන ඇය මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ආදරයට පත්ව සිටින නවපරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ‘‘විහාරා ටීචර්’’ හරහා ප්‍රේක්‍ෂක ආකර්ශනය දිනාගත් දමිත්‍රි මෙවර සඳැල්ල සතියේ කතාබහ තුළින් එකතු කරගන්න සිතුවා.

විහාරා දැන් මුළු රටම ආදරය කරන චරිතය බවට පත්වෙලා මොක ද හිතෙන්නේ?

ඇත්තටම මට දැන් ගොඩක් දෙනා කතා කරන්නේ විහාර ටීචර් කියලා. කලාකරුවන් තෘප්තිමත් වෙන්නේ රසිකයන්ගේ ලැබෙන ආදරය නිසානේ. රංගන ශිල්පිනියක් විදිහට එක සතුටක් වගේම ලොකු වාසනාවක්. ඉස්කොලේ කියන්නේ මම රංගනයෙන් දායක වෙන තුන්වැනි නිර්මාණය ඒ අතුරින් මට වැඩිපුරම ඇගයිමක් ආදරයක් ලැබෙන්නේ විහාරා ටීචර්ගේ චරිතයට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ චුටි බබාලගෙන්. මට චුටි දරුවන්ගෙන් හරියට දුරකථන ඇමතුම් එනවා ගොඩක් ස්තුතියි ඒ ආදරේට.

අවුරුදු කුමාරි තරඟය දමිත්‍රිට ගෙනාපු වාසනාව තමයි නිළියක් වෙන්න පාර කැපුන එක රංගනයට ලැබුණු අවස්ථාව දමිත්‍රි සතුටෙන් භාරගන්න දෙයක් ද?

රංගනය මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. 2019 අවුරුදු කුමාරි පළමු ස්ථානය හිමි වීමත් එක්ක රංගනයට අවස්ථා ලැබුණත් මීට පෙර රංගනය පිළිබඳ හදාරලා නැති නිසා පුංචි තිගැස්මකුත් තිබුණා.

මුලින්ම කැමරාව ඉස්සරහට යන්නේ දිලුක ගුණතිලක අයියා අධ්‍යක්‍ෂණය කරපු නොනිමි කියන ටෙලි ෆිල්ම් එක හරහා. ඒ අවස්ථාව මට ලැබුණාම කීප වතාවක්ම හිතලා තමයි දායක වුණේ.

හැබැයි ලැබුණු අවස්ථාව මම සතුටෙන් භාරගත්තා. ඊට පස්සේ ‘‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’’ ටෙලි නාට්‍යයේ නිවුන් සහෝදරියකගේ චරිතය නිරූපණය කළා. පාවෙලා වලාකුලේ උදාරා මදාරා, කියන නිවුන් චරිත දෙකට තාමත් මට ප්‍රතිචාර ලැබෙනවා.

ඉන් අනතුරුව තමයි ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ විහාරා ටීචර්ගේ චරිතයට මට අවස්ථාව ලැබුණේ. ඇත්තටම මගේ රංගන ජීවිතේ පළමු ගුරුතුමා දිලුක ගුණතිලක අයියා.

දමිත්‍රිට වාසනාව ගෙන දුන්නු අවුදුරු කුමරි සිහිනය කාලේ සිහිනයක් ද?

ඒක අපේ අම්මාගේ සිහිනයක්. මාව අවුරුදු කුමරි තරඟයට යවන්න ලොකුම ආසාව තිබුණේ මගේ අම්මාට. අවුරුදු කුමරි තරඟයේ අන්තිම දොළොස් දෙනාට තේරුණත් පළමු තැන ලැබේවි කියලා නම් හිනෙකින්වත් හිතුවේ නැහැ. මගේ ජීවිතේ අමතකම නොවන දවස තමයි අවුරුදු කුමරිය වුණ දවස. එදා ‘‘දෙරණ අවුරුදු කුමරිය මමයි’’ කියලා ඒ ඇහුණු මොහොත මට අදටත් දරාගන්න බැරි සතුටක්.

ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ විහාරා වෙන්න බලපාපු සුවිශේෂි විශේෂත්වයක් තිබුණා ද?

ඔව් විහාරා කියන චරිතය මට ලැබෙන්න සුවිශේෂිම හේතුව තමයි මගේ නර්ථන හැකියාව. විහාරා ටීචර් කියන්නේ නර්ථන ගුරුවරියක් නිසා ඔවුන් සොයලා තිබුණේ නර්තන හැකියාව තිබුණු කෙනෙක්. මට විහාරා ටීචර්ගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ පාවේලා වලාකුලේ ටෙලි නාට්‍ය ඉවර වෙද්දිමයි. ඉස්කොලේ ටෙලි නාට්‍යයේ පිටපත අතට ලැබුණු පළමු දවසේම විහාරා කියන චරිතය තුළින් මම මාව දැක්කා. විහාරා ටීචර් මගේ සැබෑ ජීවිතේට කිට්ටු සම්බන්ධයක් තියෙන චරිතයක්. මොකද මම පුංචි කාලේ ඉඳලා මගේ අම්මාට ඕන වුණේ මාව ගුරුවරියක් කරන්න. ඒත් මට ඕන වුණේ වාණිජ අංශයෙන් ඉදිරියට යන්න. එහි ප්‍රතිඵලයක් විදිහට අවසානයේ මට ලැබුණේ බැංකුවක රැකියාවක්. මං ඇත්ත ජීවිතේ බැංකු නිලධාරිනියක් වුණත් නිර්මාණය හරහා හරි මම ගුරුවරියක් වීම ගැන මගේ අම්මාට තියෙන්නේ ලොකු සතුටක්.

ඔබ පාසල් කාලේ වඩාත් දක්‍ෂ කලාවට ද? අධ්‍යාපනයට ද?

විශේෂ දක්‍ෂතාවක් තිබුණේ නර්ථනයට. පුංචි කාලේ ඉදලා නර්ථනයට මම හරිම ආසයි. පාසල් කාලේ නර්ථනය විෂයක් විදිහට ඉගෙන ගත්තා මිසක් විශේෂයෙන් නර්ථනය ඉගෙන ගන්නේ නැහැ. නර්ථනය මට පෙර පිනකට පිහිටපු කලාවක්.

රංගනය තුල දිගටම අපිට දමිත්‍රිව දැකගන්න ලැබේවිද?

දැනට නම් මම දායක වෙන්නේ ඉස්කෝලේ ඩ්‍රාමා එකට විතරයි. නිර්මාණ කිහිපයටම ආරාධනා ලැබිලා නියෙනවා. කොහොම වුණත් තව වැඩිදුරට රංගනය හදාරන්න මට අවශ්‍යයි. හැදෑරීම සමඟ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑම තමයි මගේ එකම අරමුණ. හීන නම් ගොඩක් තියෙනවා. ඒත් හැමදාම සතුටින් ජීවත් වෙන එක තමයි ජීවිතේ ලොකුම බලාපොරොත්තුව.

දමිත්‍රි ලඟදීම කරකාර බඳින්න සුදානම් වෙනවා කියලා ආරංචියි?

හ්ම්.. හ්ම්.. ඒවත් වෙන්න ඕනනේ. දැන් මගේ ජීවිතේ එහෙම කෙනෙක් ඉන්නවා. ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඔහුත් බැංකු ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක්. ඇත්තටම තාම නම් අපි විවාහයට කාල සීමාවක් තීරණය කරලා නැහැ.

දමිත්‍රිගේ පවුලේ තොරතුරු ටිකකුත් කියමු?

මම තමයි පවුලේ එකම දරුවා. මගේ අම්මාගෙනුයි, තාත්තගෙනුයි මේ ගමනට විශාල සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ අම්මා මටත් වඩා මගේ කලා කටයුතු ගැන සොයලා බලනවා. ඇත්තටම ඇය තමයි මගේ ගමනේ ලොකුම ශක්තිය. විශේෂයෙන් මගේ පාසල කොළඹ ශාන්ත පාවුළු විද්‍යාලයත් මතක් කරනවා. මගේ නර්ථන කලාවට මුල් අඩිතාලම වැටුණේ එතනින්.

ස්තුති කරන්න පිරිසකුත් ඇති.

ලක්සිරි වික්‍රමගේ සර්. චරිත් කොතලාවල අයියා, සමන් එදිරිමුණි අයියා, දිලුක ගුණතිලක අයියා, ධම්මික සුරංග අයියා, ඇතුළු මේ ගමන එන්න මට සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත් මට මේ අවස්ථාවන් දුන් සියලුම දෙනාටත් ගොඩක් ස්තූතියි.

නදීශා අතුකෝරළ / ඡායාරූප - සජීව ලක්ෂාන්

 



More In Hot Story