දරුවෝ ඔක්කොම කියන්නේ තාත්තාගේ කෑම තමයි රස කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාතික හා ජාත්‍යන්තර රූපරාජිණි තරග බොහෝමයක් සඳහා සහභාගි වි ඉන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වූ රධිකා තිළිණි ගුණවර්ධන සමගින් අපි මෙවර කතා බහා කළේමු.  ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි රධිකා වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිණියක් විදිහටය. නිතර කලා තොරතුරු ගැන අපි රධිකාගෙන් විමසන නිසාම මෙවර ඇයට අප වෙනස්ම විදිහේ ප්‍රශ්ණ කිහිපයක් යොමු කළා.

රධිකාට උයන්න පිහන්න පුළුවන්ද?

ගොඩක් හොඳට පුළුවන්. මට ඕනා කෑමක් රසට හදන්න පුළුවන්. ගමේ නගරේ කියලා විශේෂයක් නැහැ. හැම කෑමක්ම මම දන්නවා රසට හදන්න. මේ දවස්වල නම් ටිකක් වැඩිපුරම යූ ටියුබ් බලලා අලුත් විදිහේ කෑම උයන්න උනන්ඳු වෙනවා.

සාමාන්‍යයෙන් උදේ කෑම වේල කොහොමද?

වැඩ තියෙන දවස්වල නම් පාන්දර තුනට වගේ ඇහැරෙනවා. එතකොට නම් ගොඩක් වෙලාවට කෑම මා අතින් හැදෙනවා අඩුයි. වැඩවලට ගියත් අපිට බොහෝ වෙලාවට ලැබෙන්නේ බත්, ඉඳි ආප්ප, පාන් වගේ දේවල් නේ. මම උදේට ටිකක් කෑම ගන්නවා අඩුයි. මොකද, නිතරම වගේ මම කෑම පාලනය රකන්න පුරුදු වෙලා ඉන්න නිසා.

ගෙදර ඉන්න කොට වැඩියෙන්ම හදන්නේ මොනවද?

පාස්තා, මගේ පොඩි අය කන්න ආසම කෑම. ඒ හින්දා නිතරම වගේ පාස්තා හදනවා. ගොඩක්ම වෙලාවට ඒ අය කැමති දේ තමයි අපි ගෙදර හදන්නේ. තව ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල්වලටත් ඒ අය කැමතියි.

රධිකා කෑම හදපු දවසට කොහොමද පවුලේ අයගේ ප්‍රතිචාර?

මම මොන කෑම හැදුවත් රහයි ඉතින් ඒ අයට. ඉතින් හැමදාම ලැබෙන ප්‍රතිචාර එක වගේ. හැබැයි ඉතින් මොන කෑම හැදුවත් ඉතුරු වෙන්නේ නැහැ. කටිටිය ඒ ඔක්කොම ඉවර කරලා තමා නතර වෙන්නේ.

නිර්මාණ එක්ක කාර්යබහුල වුණාම ගෙදර අයගේ කෑම වේල?

මගේ හස්බන්ඩ් තමා හදන්නේ. සාමාන්‍යයෙන් මම වැඩවලට යන කොට ඇහැරෙන්නේ පාන්දර තුනට හතරට. ඒ වගේ වෙලාවට කෑම කොහෙමත් ගෙදර හැදෙන්නේ නැහැ. උදේ හස්බන්ඩ් උයනවා පොඩි අයටත් එක්ක.

රධිකාගේ කැමද රස හස්බන්ඩ් උයන කෑමද?

හස්බන්ඩ් උයන කෑම. පොඩි අය වුණත් කියන්නේ තාත්තාගේ කෑම තමා රසම කියලා. ඇත්තම කියනවා නම් ගෙදර මටත් වඩා වැඩිපුරම කෑම උයන්නේ මගේ හස්බන්ඩ්. එයාගේ කෑම ගොඩක් රසයි. මටත් ගොඩක් පහසුයි. අපි කඩවලින් කෑම කන්නේ ගොඩක් වෙලාවට අඩුවෙන්. මගේ වැඩත් එක්ක හස්බන්ඩ් මේ වගේ සහයෝගයක් දෙනවා කියන්නේ ගොඩක්ම වටින දෙයක් මට.

ඔබ කෑම පාලනය කරනවා නේද?

කලා ශිල්පිණියක් කිව්වාම අපි මුලින්ම බලන්න ඕනා අපේ සිරුරේ හැඩය එක වගේ තියාගන්න ඒක. ඇඟෙට ගුණ කෑම තමයි ගොඩක් වෙලාවට මම කන්නේ. උදේ, දවල්, රාත්‍රි තුන් ව්‍ලෙටම මම සමබර කෑම වේලක් ගන්නවා. ඊට අමතරව නිතරම වගේ ව්‍යායාම් වලත් යෙදෙනවා. දරුවෝ ලැබුණා කියලා මගේ සිරුරේ හැඩය වෙනස් වුණේ නැහැ. මීට වසර දහයකට පහළොවකට කලින් දැක්ක රධිකාවම තමයි මිනිස්සුන්ට අදටත් දකින්න ලැබෙන්නේ.

බුද්ධික සේනාධීර
ඡායාරූප - සුපුන් උදයංග