දෙවැනි ගීතයට මේ දවස්වල සූදානම් වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'හිරු ස්ටාර්' රියලටි වැඩසටහන හරහා හඳුනාගත් මධුංකා නිශාලි මේ දිනවල වඩාත් ජනප්‍රියව ඇත්තේ මතකද මාව තාම ඔයාට.. නම් ගීතය හරහාය. වර්තමනයේ නිතරම ඇසෙන ගීතයක් බවට පත්ව තිබෙන එම ගීතය ගැන හා ඉදිරි සිය ගායන කටයුතු ගැන මධුංකා අපි සමග මෙසේ අදහස් බෙදා හදාගත්තේමු.

මතකද මාව.. ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම, මතකද මාව.. ගීතයට මම හිතුවටත් වඩා හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. කොටින්ම කිව්වොත් හැම කෙනෙක්ගෙන්ම ලැබෙන්නෙත් ඊට හොඳ ප්‍රතිචාර. ඒ වගේම තමයි ගිතය නිතරම දැන් අහන්නත් දකින්නත් ලැබෙනවා. ඉතින් ගොඩක් සතුටුයි කරපු මේ ගීතය හරහා රසික, රසිකාවියන් අතරට යන්න පුළුවන් වුණ එක ගැන. තාමත් මතකද මාව.. ගීතය ලංකාවේ ප්‍රධාන ගීත දර්ශකවල තියෙනවා.

මධුංකගේ මේ කීවෙනි ගීතයද?

මේක මගේ පළවෙනිම ගීතය. මගේ කියලා කරපු පළමුවෙනි ගීතය මේක. ඊට කළින් ගී නිර්මාණවලට දායක වෙලා තියෙනවා. නමුත්, මගේම කියලා කරපු පළමුවෙනි ගීතය තමයි මතකද මාව.. ගීතය.

මේ ගීතයෙන් පස්සේ අලුත් ගීතයකට මුල පිරුවේ නැද්ද?

අලුත් ගීතයක වැඩ කටයුතු මේ දිනවල කරමින් යනවා. අලුත් ගිත එකක් නෙමෙයි කිහිපයක්ම කරගෙන යනවා. ගොඩක් ප්‍රඩක්ෂන් ආයතන වලිනුත් ගීත කරන්න මට කතා කරලා තියෙනවා දැනට. කෙහොම වුණත් මේ දිනවල කරන්නේ මගේ දෙවැනි ගිතයේ වැඩ කටයුතු පමණයි.

ගායිකාවක් විදිහට ඔබ ක්ෂේත්‍රය තුළ නමක් හදාගෙනද ඉන්නේ?

ගායිකාවක් විදිහට දැන් නමක් හදාගෙනද කියලා කිව්වොත් ඒක මට කියන්න බැහැ. මොකද, මේ ක්ෂේත්‍රයට තවමත් මම අලුත් කෙනෙක් නිසා. තවම මම නිකුත් කරලා තියෙන්නේ එක ගීතයයි. ඒ කරපු ගීතය හරහා හැබැයි ගොඩ දෙනෙක් අතර මම ජනප්‍රිය වෙලා තියෙනවා කියලා හිතනවා. මොකද, මතකද මාව.. ගීතය ඒ තරම් ශ්‍රාවකයන් අතරට අද වෙන කොට ගිහිල්ල තියෙන නිසා.

ගායන දිවියේ ඔබ හැරවුම් ලක්ෂය වෙන්නේ මොකක්ද?

මගේ ගායන දිවියේ හැරවුම් ලක්ෂය විදිහට මම දකින්නේ මතකද මාව.. කියන ගීතය මිනිස්සු මේ තරම් ආදරෙන් රසවිඳපු එක. මධුංකා කියලා කෙනෙක් මේ රටම හදුනගත්තේ ඒ ගීතය හරහා. ඩිලාන් ගමගේ අයියා තමයි මාව මේ ගීතයට සම්බන්ධ කරගත්තේ. සියයට සියයක් ඩිලාන් අයියාට තමයි මේකේ ගෞවරය හිමිවිය යුත්තේ කියලා මම හිතනවා.

ඉදිරිය කොහොම වෙයිද?

ඉදිරිය ගොඩක් සුබ වෙයි කියලා හිතනවා මම. තව ගොඩක් නිර්මාණ මගේ ඉදිරියට එන්න තියෙන හින්දා මම හිතනවා ගායිකාවක් විදිහට මට ලොකු ගමනක් මේ ක්ෂේත්‍රය තුළ යන්න පුළුවන් වෙයි කියලා. අද ක්ෂේත්‍රය තුළ ගොඩක් තරුණ අය දකිනවා. නමුත්, හරිහමන් නිර්මාණයක් නොමැති වීම හරහා ඔවුන්ගේ ගමන අතරමඟ නතර වෙනවා. මම එහෙම කැමති නැහැ. හැම වෙලාවේම උත්සාහ කරන්නේ මේ ක්ෂේත්‍රය තුළ පැවැත්මක් හදාගන්න. ඒකට මම හොඳම නිර්මාණ විතරක් තෝරගෙන කරන්න උත්සාහ කරනවා.

ගායිකාවක් නොවුණා නම් ඔබ?

දැනටත් මම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ රැකියාවක නිරත වෙනවා. ගායනය කියන්නේ මගේම වෘත්තියම නෙවෙයි. ඒ නිසා ගායිකාවක් නොවුණා නම් මම මගේ ඉගෙනිමට සරිලන රැකියාවක නිරත වේවි කියලා හිතනවා. මට අක්කලා තුන් දෙනෙක් දෙනෙක් ඉන්නවා. ඒ අය ඔක්කොම උපාධිදාරිණියෝ. මාත් දැන් උපාධිදාරිණියක්.

බුද්ධික සේනාධීර