දෙවන ස්ථානය කියලා කියද්දි මාව ෂොක් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක නිරූපණ ශිල්පිනියක් වන ශෙරංගි මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවැනි ස්ථානය ජයග්‍රහණය කරනවා. මේ වනවිට උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන ශෙරංගි වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා. ඇය සිය ජයග්‍රහණය පිළිබඳව අප සමග කතා කළේ මෙලෙසින්.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ශෙරංගි නටාෂා. මට වයස අවුරුදු විසි දෙකයි. මම ඉන්නේ හෝමාගම. දැනට නිරූපණ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. කලින් රැකියාවක් කරලා දැන් අයින් වෙලා ඉන්නේ. ඊට අමතරව දැනට ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා.

දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියඔබේ පළමු අත්දැකීමද?

ඔව්. පාසැල් කාලයෙන් පසුව සහභාගී වුණු පළමු අවස්ථාව.

ජයග්‍රහණය ගැන දැනෙන්නේ කොහොමද?

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවන ස්ථානය ලැබීම ගැන ගොඩක් සතුටුයි. ජයග්‍රහණයක් ලැබෙයි කියලා හිතුවේ නැහැ ඇත්තටම. දෙවන ස්ථානය කියලා කියද්දි මාව ෂොක් වුණා.

අවුරුදු කුමාරිය තරඟයකට ඉදිරිපත් වෙන්න හිතුවේ ඇයි?

මම ෆුල් ටයිම් නිරූපණ ක්ෂේත්‍රයේනේ ඉන්නේ. එතකොට මගේ වෘත්තීයට උදව්වක් වෙයි කියලා හිතුණා මේ තරඟාවලියත්.

ඔබ නිරූපණයෙන් දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?

BOC, මංචි චොක්ලට් බිස්කට්, DIVA, රාජා ජුවෙලරස්, කැල්ටෙක්ස් ඇතුළු වෙළඳ දැන්වීම් රැසකටම දායක වෙලා තිබෙනවා. ඊට අමතරව ෆොටෝෂූට්, බ්‍රෑන්ඩ් ප්‍රමෝෂන් වැනි දේවලුත් කරලා තිබෙනවා.

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා තමයි ගොඩක්ම උදව් කරන්නේ. තාත්තාගෙන් වැඩි කැමැත්තක් නැහැ. අම්මා තමයි පස්සෙන් ඉන්නේ හැමදේටම.

ශෙරංගිට රංගනයට පිවිසීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?

මම දැනටමත් අළුත් ටෙලි නාට්‍යක රංගන කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. ඒක අළුත් අධ්‍යක්ෂවරයෙකුගේ නිර්මාණයක්. ගොඩක් ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන් තමයි එහි ඉන්නේ. කොටස් හැටක විතර ටෙලි නාට්‍යයක්. මම හිතනවා ඒකත් මට ලොකු අත්දැකීමක් වෙයි කියලා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මේ ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උපාධියත් සම්පූර්ණ කරගන්න ඕනේ.

ජයග්‍රහණය පිටුපස හිටපු අය ගැන මතක් කළොත්?

මගේ අම්මා ඇතුළු පවුලේ අයව මතක් කරන්න ඕනේ. එතකොට මගේ යාළුවෝව මතක් කරන්න ඕනේ. ඒ වගේම මට වචනයකින් හෝ උදව් කරපු සියළු දෙනාවමත් මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද