නැහැ තවමත් මම මේ ක්ෂේත්‍රවල ස්ථාවර නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි හා සිනමා නිර්මාණ රැසක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ දුටු යොවුන් රංගන ශිල්පිනියක් වන මාෂි චතුරිකා මෙවර සාරවිට තරු කතාබහට අප සමග සම්බන්ධ වුණා. නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය වර්තමානය වනවිට රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරමින් සිටියි. මේ දිග හැරෙන්නේ මාෂි සමග අප කළ කතා බහයි.

මුලින්ම අපි මාෂිව හඳුනා ගමු?

මම වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිණියක්. ඊට පස්සේ නිරූපිකාවක් විදිහටත් වැඩ කළා. දැන් නම් මම රංගනය පැත්තට තමයි වැඩිපුරම යොමු වෙලා තියෙන්නේ.

ඔබ නිරූපණයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. කොහොමද ඒ පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ?

කලා ක්ෂේත්‍රයට මම මුලින්ම අවතිර්ණ වුණේ නිරූපණ ශිල්පිණියක් විදිහට. රූපලාවන්‍ය වැඩ කටයුතු කරද්දි යාළුවෝ කිව්වා නිරූපණයටත් යොමු වෙන්න කියලා. පස්සේ ඔවුන්ගේ වැඩවලට මම සම්බන්ධ වුණා. දැනට මම පොටෝ ෂුට් පන්සියකට ආසන්න ප්‍රමාණයක් සඳහා දායක වෙලා තියෙනවා.

ඔබව අපි දුටු කලා නිර්මාණ මොනවද?

චමිල ශෂික අයියා තමයි මට රංගන ක්ෂේත්‍රයට යොමු වෙන්න අවස්ථාව ලබාදුන්නේ. ඔහු හරහා මට මංජුල මොරගහ සර්ව මුණ ගැහුණා. ඔහුගේ %ගුඩ් නිවුස්^ නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. එහිදි මම පත්තර වාර්තාකාරිණියක් විදිහට තමයි රංගනයෙන් යෙදුණේ. ඊට පස්සේ රැහේ, වෙස්ගත්තෝ, රහයි ජිවිතේ, හිතුවක්කාරි ටෙලි නාට්‍යය වගේම රොෂාන් පිලිපිටිය අයියාගේ කුණු කොල්ලා කියන කෙටි චිත්‍රපටයට දායක වුණා. මේ වනවිට එය ඉතාලියේ ප්‍රදර්ශනය වෙනවා. ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කිව්වොත් සුසුම් රස්තියාදුවේ, ඉදුවර නාට්‍යය වගේම ‘මර්ඩර්’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හරහාත් ප්‍රේක්ෂකයින්ට මාව දකින්න ලැබෙයි.

එතකොට දැන් මාෂි නිරූපණ කටයුතු අත්හැරලාද?

නැහැ. නිරූපිකාවක් විදිහට තවමත් වැඩ කරනවා. නිරූපණය මම කවමදකවත් අත්හරින්නේ නැහැ. මොකද, කලා ක්ෂේත්‍රයට මම මුලින්ම එකතු වුණේ නිරූපිකාවක් විදිහට. මෑත කාලයේ නම් රඟපෑම් කටයුතු වගේම පෞද්ගලික කටයුතු නිසා කාලය පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා. ඒ හින්දා තමයි නිරූපණ කටයුතුවලට ලොකුවට දායකත්වයක් දෙන්න බැරිවුණේ.

නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් විදහට දැන් මාෂි මේ ක්ෂේත්‍රවල ස්ථාවරද?

ඇත්තටම කිව්වොත් රංගනයට තවමත් මම අලුත් කෙනෙක්. මේ ක්ෂේත්‍රවල මම තවම ස්ථාවරද කියලා ඇහුවොත් නැහැ තවමත් මම ස්ථාවර නැහැ කියන උත්තරය මට දෙන්න පුළුවන්. නවකයෝ එනවා යනවා මේ ක්ෂේත්‍රවල. මගේම කියලා අනන්‍යතාවයක් මම හදාගන්න කම් මම හිතන්නේ නැහැ මම මේ ක්ෂේත්‍රවල ස්ථාවරයි කියලා. බලමු මේ ක්ෂේත්‍රය තුළ මට ඉදිරියට යන්න තව ලොකු ගමනක් තියෙනවා.

මේ ක්ෂේත්‍ර ඔබ වගේ තරුණ අයට හොඳද? නරකද?

හොදද නරකද කියලා ඇහුවෙත් මට කියන්න බැහැ හොඳද නරකද කියලා. ඕනෑම ක්ෂේත්‍රයක හොඳ පැත්තක් වගේම නරක පැත්තත් තියෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රයට එන නවකයෙක්ට හොඳ දැනුමක් සමග ආවොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියන අදහසේ මම ඉන්නවා.

ඔබ දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොපමණ කාලයක් වෙනවද?

2019 වසරේ වගේ තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. නිරූපණයට වගේම රංගන ජිවිතේට මගේ වසර පහක කාලයක් වගේ තමයි ගත වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්.මම මේ ගමන යන්නේ හරිම හෙමින්. පසුගිය කාලේ අපේ රටේ තිබුණ ගැටළුත් එක්ක වසර දෙකක් විතර කරන්න තිබුණ වැඩ ප්‍රමාණය පස්සට ගියා. එකත් පුංචි පාඩුවක් වුණා කියලා මට හිතෙනවා. කොහොම වුණත් මම ක්ෂේත්‍රයට තවම අලුත් කෙනෙක්. මේ ගැන ඉගෙන ගෙන හෙමින් ගමනක් යන එක මට හොඳයි. ඇත්තටම කියන්න ඕනා මේ ආපු ගමන ගැන දැනට කරපු වැඩ ගැන මට ගොඩක් සතුටුයි.

කලා ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද ඔබගේ අදහස?

මගේ වෘත්තිය තමයි රූපලාවණ්‍ය ශිල්පිය. අදටත් මම හිතාගෙන ඉන්නේ ඒ පැත්තෙන් ඉදිරියට යන්න. නමුත්, වර්තමානයේ මම රංගන ශිල්පිණියක්, නිරූපිකාවක් විදිහට කාර්යබහුල වෙලා ඉන්නවා. අදහක් තියෙනවා රූපලාවන්‍ය පැත්තෙන් මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. හැබැයි අද හෙටම නෙමෙයි. ඒක කාලය විසින් තිරණය කරයි කියලා මම හිතනවා.

සරාගි දර්ශනයක්, එහෙමත් නැත්නම් නිරූවත් ඡායාරූප ටිකකට පෙනි ඉන්න මාෂිට ලොකු මුදලක් ගෙවනවා. ඒ වැඩේ භාරගන්නවාද?

එවැනි දේකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණොත් මම මට ලැබෙන මුදල ගැන විශේෂ සැළකිල්ලක් දක්වන්නේ නැහැ. මම කරන වැඩේට සාධාරණ මුදලක් ගන්නවා ඇර. ඇත්තටම මම බලන්නේ ඒ ලැබෙන වැඩේ ක්ලාත්මක හා ගුණාත්මක බව පමණයි. ඔව්, එවැනි දේකට කතා කළොත් මම ඒ වැඩේ බාරගන්නවා අභියෝගයක් විදිහට. මුදලට වඩා ඒ වැඩේට සාධාරණත්වයක් දෙන්න අවස්ථාවක්. ආරාධනාවක් ලැබුණොත් මම ඒ දේ භාරගන්නවා.

සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර