පුංචිතිරයට ආවේ අවුරුදු කුමාරි තරගෙකින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

සංජානා මේ දිනවල නිර්මාණ කිහිපයකම දකින්න ඉන්නවා කොහොමද චරිතවලට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම නාළිකා කිහිපයකම මම රංගනයෙන් දායකවෙන ටෙලිනාට්‍ය කිහිපයක් මේ දිනවල විකාශය වෙනවා. හිරු නාළිකාවෙ ‘‘දිවිතුරා’’ සහ ‘‘ළංවී’’ ටෙලි නිර්මාණ දෙකත් ස්වර්ණවාහිනියේ ‘‘ගුග්ලි’’ නිර්මාණයත්, ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘‘ඉන්ටර්නැෂනල්’’ මීට දින කිහිපයකට පෙර අවසන් වුණා. ඉතින් මේ නිර්මාණවලට ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි.

මේ නිර්මාණ අතරින් ‘‘ළංවී’’ හි ඔබේ චරිතය ලොකු වෙනසක් තියෙන චරිතයක් නේද?

ඔව්. චේති කියන්නෙ මට ලැබුණු වෙනස්ම විදියෙ චරිතයක්. නමුත් මේ නාට්‍යයේ මැදදි වගේ මේ චරිතය සම්පූර්ණ වෙනසක් සිදුවෙනවා. ඒ වෙනස මොකද්ද කියන දේ ප්‍රේක්ෂකයන්ටම බලන්න ඉඩ අරිනවා. මොකද මේ ටිකේ මගේ චරිතයට බනින පිරිසක් ඉන්නවා. මොකද මම මේ වෙද්දි මගේ චරිත රංගනය හරහා ආදරය කරන යුවළක් වෙන් කරන්න යනවනෙ. නමුත් හිතාගන්න බැරි විදියෙ වෙනසක් ප්‍රේක්ෂකයන්ට මේ හරහා දැකබලාගන්න හැකිවෙයි.

ගුග්ලි චරිත රංගනයත් කතා කරමු?

‘‘ගුග්ලි’’ නිර්මාණයේ මම දුෂ්ට, කපටි චරිතයක් කරන්නෙ. ඉතින් ඒ නිර්මාණයත් මම ගොඩක් සතුටින් භාරගත්ත එකක්. මේ වෙද්දි ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සංජානා පුංචි තිරයේ වැඩිපුරම දකින්න ඉන්නෙ දඟකාර, කටකාර චරිතවලින් නේද? ඇයි එවැනි චරිත ලැබෙනවා ඇත්තෙ?

මම විශ්වාස කරන විදියට මගේ පෙනුම සහ කතා විලාශය නිසා එවැනි චරිත රංගනයන් ලැබෙනවා ඇති. මේ කාල සීමාවෙ එක දිගට ලැබුණෙ එවැනි චරිත. නමුත් මම ‘‘ඉන්ටර්නැෂනල්’’ ටෙලි නිර්මාණයේ කළේ වෙනස් චරිත රංගනයක්. ඒක මෙතෙක් කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්. නමුත් මම මුලින්ම කරපු නිර්මාණයේ ‘‘දිවි ඇති තුරා’’ එය ස්වාධීන රූපවාහනියෙ විකාශය වුණේ. එහි මම කළේ දඟකාර, කටකාර, අහිංසක චරිතයක්. ඒ චරිතය ‘‘හිමිදිරී’’ ඉතින් මම අදටත් ඒ චරිතයට ගොඩක් ආදරෙයි. ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් මම හිතනවා ඕනෑම චරිත රංගනයක් සමබරව කරගෙන යාමේ හැකියාවක් මට තියෙනවා කියලා. මම කොහොමත් එකම චරිත රංගනයන්ට කොටු නොවී විවිධාකාර චරිත රංගනයන්ට යන්න ගොඩක් කැමතියි. ඉතින් ඉදිරියට තවත් අලුත් නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා. ඒවා තුළින් ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව දැකබලා ගන්න හැකිවෙයි.

මේ දිනවල ‘‘ගුග්ලි’’ නිර්මාණය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා කියනවනෙ. එහිදී ඔබේ පෙම්වතා විදියට රංගනයෙන් දායක වෙන්නෙ නව පරපුරේ රංගන ශිල්පියෙක් වන හෂාන් රත්නායක. ඔහු එක්ක ඔබට පෙම් යුවළක් විදියට වැඩිපුර වැඩ කරන්න ලැබිලා තියෙනවා නේද?

ඔව්. ඇත්තටම හෂාන් කියන්නෙ මම ක්ෂේත්‍රයට එද්දි මුලින්ම මුණ ගැහුණු චරිතයක්. අදටත් මගේ ළඟින්ම ඉන්න හොඳම යාළුවා. අපි දෙන්නා මුලින්ම මුණගැහෙන්නෙ අවුරුදු කුමරා, කුමරි තරගාවලියකින්. ඒ තරගය හරහා අපි දෙන්නටම ජයග්‍රහණය කරන්න ලැබෙනවා. ඒ හමුවීමත් එක්ක තමයි අපිට නිරූපන අංශයෙන් ගොඩක් එකට එකතුවෙලා වැඩ කරන්න ලැබුණෙ. ඉතින් ඒ සම්බන්ධ වීමත් එක්ක තමයි ටෙලි නිර්මාණයකටත් පෙම්වතා සහ පෙම්වතිය විදියට අපි දෙන්නට එකතුවෙලා වැඩ කරන්න ලැබෙන්නෙ. හරිම පහසුයි ඔහු එක්ක වැඩ කරන්නත්. මොකද අපි හොඳින්ම දන්න හඳුනන නිසා.

අවුරුදු කුමාරියක් විදියටද එතකොට සංජානා මේ ක්ෂේත්‍රයට එන්නෙ?

ඔව්. ඇත්තටම මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබනේනෙ ‘‘අවුරුදු කුමාරි’ තරගය හරහා.

ඒ කියන්නෙ ‘‘බක්’’ මාසය සංජානාගේ ජීවිතේට වාසනාව ගෙනාපු මාසයක්?

අනිවාර්යයෙන්ම. මොකද පුංචි කාලෙ ඉඳන්ම රංගනය කියන දේ මගේ හීනයක්. ගොඩක් කැමැත්තෙන් හිටියා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඉතින් ‘‘අවුරුදු කුමරිය’’ තරගය නිසා තමයි මට මගේ ඒ හීනය සැබෑ කරගන්න හැකියාව ලැබුණෙ. ඉතින් මම වගේම මේ ක්ෂේත්‍රයට පා තබන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න තරුණ තරුණියො තවත් ගොඩක් ඇති. මොකද මම ඒ තරගය හරහා රංගනයට, නිවේදනයට, නිරූපනයට එකතු වුණා. ඉතින් මම කැමතියි මම වගේම ඒ හීන සැබෑ කරගන්න හිතන තරුණ තරුණියන්ට උදව් කරන්න. ඒ නිසාම මම සංවිධානය කළා ‘‘සූරිය අභිෂේක කුමර කුමරි මංගල්‍යය 2022’’ නමින් ලොකු තරගාවලියක්. එහි මූලික වටයේ සම්මුඛ පරීක්ෂණ මාර්තු 31 දිනයේදී පැවැත්වුණා. ඒ දිනවල රටේ තිබුණු ප්‍රශ්න සහ ඒ බලපෑම් සමඟින් වුවද තරුණ තරුණියන් දහස් ගණනක් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ තරගාවලියෙන් තරුණයන් 12ක් සහ තරුණියන් 12ක් තෝරා ගත්තා. ඔවුන් නුදුරු දිනකදී කොළඹ තරු පහේ හෝටලයක සූර්යාභිෂේක කුමරා කුමරිය ලෙස අභිසෙස් ගන්වනවා. ඉතින් මගේ තිබුණු ලොකු හීනයක් තමයි මේ විදියට සැබෑ කරගන්න කැපවෙලා වැඩ කළේ?

ඉතින් මේ මාසය ගැන මොකද හිතෙන්නෙ?

හරිම සුන්දර මාසයක්, ඒ සුන්දරත්වය පුංචි කාලෙනම් ගොඩක් වින්දා. ගෙදර කැවිලි පෙවිළි හැදුවා. නමුත් දැන් නම් ඒවා ගෙදර හදන්නෙ නැහැ. අම්මා දැන් අපි අතර නැහැනෙ. අම්මා ඉද්දි ඒ හැමදේම කළා. දැන් අපිට කැවිළි පෙවිළි හදලා එවන අය ඉන්නවා. ඉතින් ඒ ලැබෙන දෙයක් තමයි කාලා ඉන්නෙ.

මෙවර අවුරුද්දට තියෙන සූදානම කොහොමද?

ඇත්තටම ලොකු සුදානමක් නැහැ. නමුත් මෙවර නම් ටිකක් කාර්යබහුල වුණා මේ මාසයේ. ඒ මම සංවිධානය කරපු තරගාවලිය නිසා. ඒ වගේම ඉතින් නෑදෑ ගෙවල්වල යන්න තියෙනවා. යාළුවන්ගෙ ගෙවල්වල යන්න තියෙනවා. 

සංජානා සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රියයි නේද?

ඇත්තටම මම U Tube නාළිකාවක් පටන් අරගෙන මාස 3ක් වගේ කෙටි කාලයකින්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂය සම්පූර්ණ කරන්න හැකිවුණා. ඒ තුළින් මට සිල්වර් බට්න් එක ලැබුණා. ඒ ගැන හරිම සතුටුයි. මගේ ආදරණීය රසිකයන් නිසා තමයි ඒ හැමදේම ලැබුණෙ. ඉතින් මම කොහොමත් කවදත් කෙළින් ඕනෑම දෙයක් කතා කරපු කෙනෙක්. ඒ දේවල්වලට හොඳ වගේම විවේචනත් ආවා. ඒ හැමදේම මම ගොඩක් ආදරෙන් භාරගන්නවා.

පුංචි තිරයෙන් රිදී තිරයට යන්න ආරාධනා ලැබිලා නැද්ද?

රිදී තිරයට ආරාධනා ලැබිලා තියෙනවා. රටේ තියෙන තත්ත්වයත් එක්ක ඒ දේවල් කොයි විදියට යයිද කියන්න දන්නෙ නැහැ. ඉදිරියේදී බලමු. 

ධනු විජේරත්න / ඡායාරූප -  සජීව ලක්ෂාන්

ඇඳුම් නිර්මාණය – ප්‍රනීත් රණවීර