පටන් ගැන්මට වඩා අවසානය වෙනස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“වාව් සුපර්බ්. ඔයා කියපු ඔය අන්ඩර දෙමළෙ අපට හොඳට තේරුණා නේහ්. මේ හලෝ දැන් මං දන්නවා ඇයි ඔයා මට මෙච්චර හේට් කරන්නෙ කියලා...” මෙහෙම කියන්නෙ ‘පොදු - 2’ නාට්‍ය නිර්මාණයේ රංගනයට දායකව සිටින මිෂෙල් දිල්හාරා ය. ඇය මෙලෙසින් ‘පොදු - 2’ නාට්‍යයේ රඟපාන්නෙ ‘දුෂී’ නමැති චරිතයයි. මිෂෙල්ගේ වෙනස් රඟපෑමක් රැගත් ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘පොදු - 2’ විකාශය කෙරෙන මොහොතක, අද ‘සඳැල්ල’ කවරය හැඩ කරමින් කතාබහට එක්වුණේ මිෂෙල් දිල්හාරා රංගන ශිල්පිනියයි. 

මිෂෙල්, අපි ‘පොදු’ නාට්‍යයේ චරිතයෙන්ම කතාබහ පටන් ගමු. 

මගේ ජීවිතයේ මෙතෙක් ලැබුණු චරිත අතරින් හැරවුම් ලක්ෂ්‍යය වූ චරිත හතරක් තියෙනවා. එයින් එකක් තමයි මේ ‘දුෂී’ චරිතය. පළමුවැනි එක සල්සපුනා එකේ පත්තරකාරි. සුදු ඇඳගෙන කළු එකේ අයෝමා. කැන් යූ හියර් මී එකේ - මහිම්. ඉන් පස්සේ පොදු එකේ දූෂිගෙ චරිතය. 

මේකෙ විශේෂත්වය?

මේකෙ විශේෂත්වය වන්නේ පසුගිය කාලයේ මම කළ චරිතවලට වඩා ලොකු පරාසයක් තියෙන චරිතයක්. මේකෙ අන්තිමට මම රඟපාන්න තියෙන්නේ ටිකක් වෙනස් ස්වාභාවයකින්. ඒ කියන්නේ පටන් ගැන්මට වඩා අවසානය වෙනස්. ඒකට හේතුව චරිතය හරහා හරි ලස්සනට පෙන්වනවා. මේකෙ පිටපත කියවද්දීම මට ආසා හිතුණා. 

මුලින් විකාශය වූ ‘පොදු’ නාට්‍යයේ මිෂෙල් හිටියද?

නැහැ. මෙහි දෙවැනි කතා මාලාවට මම එක්වුණේ. ජනවාරි 29 පටන් ගත්තා. සෑම සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රී 9ට දෙරණින් පොදු නරඹන්න පුළුවනි. 

කොහොමද දුෂිට ලැබෙන ප්‍රතිචාර?

පොදු නාට්‍යයේ චරිත ස්වාභාවය වෙනස්. වාණිජමය කොලිටි එක තියාගෙන කලාත්මකව ඉදිරිපත් වන අපූරු නාට්‍යයක්. ශ්‍යාම් මැඩම්ගෙ අධක්ෂණයක් නැවුම් බවක් ගෙන දුන්නෙ. එයා මෙතෙක් නොකළ විදියට නව අත්හදාබැලීම් කරන්න උත්සාහ ගන්න කෙනෙක්. 

දුෂි කියන්නෙ කවුද? 

ඇමැති කෙනෙක්ගෙ දුවක්. එයා බොහෝ වෙලාවට සමාජයේ මතවාද හා සමාජය දිහා දකින්නෙ වෙනස් විදියකට. කියන්න ඕනෑ දේ මූණටම කියන කෙනෙක්. සමාජයේ සමහර ප්‍රශ්න දිහා වෙනස් විදිහට බලන සහ වෙනස් කරන්න උත්සාහ ගන්නා චරිතයක්. 

මිෂෙල් සැබෑ ජීවිතයේදී මේ දුෂිට සාපේක්ෂව? 

මිෂෙල් සහ දුෂි කියන්නෙ චරිත දෙකක්. 

ඒ වෙනස ගැන කියමු. 

මිෂෙල් සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් එක්ක සුහදව කටයුතු කරමින් සමබර ගමනක් යන්න හදන කෙනෙක්. දුෂි වගේ ටෆ් නැහැ. 

මේ දිනවල මේ චරිතය විතරද දැකගන්න පුළුවන්? 

සියතෙ ‘රේස්’ නාට්‍යයේ රඟපානවා. ඒකෙ නම දේවානි. 

දේවානි ගැනත් කියමු?

එයාගෙ තාත්තා තේ ෆැක්ටරි එකක් අයිති කෙනෙක්. තාත්තා ඉහළ පුටුවක හිටියට දේවානි රස්සාව පටන් ගන්නෙ ඔෆිස් එකේ පොඩිම තැන ඉඳලා. 

ඒ හැර? 

රඟපෑම් කටයුතුවලට අමතරව සමාජ සේවයේ යෙදෙනවා. මම පවුල් 200කට හාල් කිලෝ 5 බැගින් බෙදා දුන්නා දළුපොත ශ්‍රී ධර්මරතනාරාම විහාරස්ථානයේ කල්පෙ ධර්මලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන්. 

දිගටම හාල් බෙදන්නද කල්පනාව? 

ඒක විතරක්ම නෙමෙයි. තව තවත් සමාජ සේවා වැඩ කටයුතු කරගෙන යනවා. සරසවි හා සම්බන්ධව දේශගුණික වෙනස්වීම්, ගෝලීය උෂ්ණත්වය ගැන ව්‍යාපෘති කරගෙන යනවා. 

මේ වගේ සමාජ සේවා වැඩවලින් මිෂෙල්ගෙ අවසාන බලාපොරොත්තුව මොකක්ද? දේශපාලනයට ඒමට පරිසරය හදා ගැනීමද? 

කොහෙත්ම නැහැ. රංගන ශිල්පිනියක් වූ පසු ඒ ගමන තනියම එන්න බැහැ. ලොකු පිරිසක් මා වටා ඉන්නවා. ඒ අයට මට හැකි විදියට උදවු කරන්න ඕනෑ. මේ ගමන එන්න එයාලත් මගේ ජීවිතය එක්ක සිටිය නිසා. සරසවි හා සම්බන්ධ වී පරිසරයට සම්බන්ධව වැඩ කරන්නෙ එයාලා එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න ලේසියි. එයාලා නායකත්වයට යන ගමනේදී පරිසරය ගැනත් අනාගතයේදී හිතාවි. මගේ අරමුණ ඒ පණිවුඩය අද දවසේ එයාලා එක්ක බෙද‌ාගැනීමයි. 

ප්‍රධාන වෘත්තිය වෙන්නෙ? 

රංගන ශිල්පිනියක්. 

රංගනයෙන්, ටෙලි රාමුවට විතරද සීමා වෙන්නෙ? 

මේ දිනවල ෆිල්ම්ස්වල රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා. මම ඒ ගැන හිතමින් ඉන්නෙ. මට ගැලපෙන චරිතයක් ලැබුණොත් බාර ගන්නවා.

කොහොමද ජීවිතය?

සෞඛ්‍ය ආරක්ෂිතව වැඩ කටයුතු කරගෙන යනවා. 

කොහොමද පෞද්ගලික ජිවිතේ සැලසුම් කරලා තියෙන්නෙ? 

දැනට මම වඩා අරමුණු කරගෙන ඉන්නේ ‘පොතේ’ වැඩවලට.

මොකක්ද පොත?

‘සමාජ අදෘෂ්‍යමානතාවය මිථ්‍යාවක් නොව එය පවතින්නක්’ කියලා මගේ පළමු පොත නිකුත් කළා. දෙවැනි පොත ලියමින් ඉන්නේ දේශගුණික විපර්යාසයන් ගැන. තවම ඒකට නිත්‍ය නමක් දාලා නැහැ. ඒ වෙනුවෙන් පර් යේෂණ කරමින් සොයමින් බලමින් කරුණු රැස්කර ගන්නවා. 

ඇයි ඒ වගේ දේ කරන්න හිත ගියේ? 

මෙම ක්ෂේත්‍රයට එන්නටත් පෙර සිට තමයි සමාජ සේවයට එක් වී කටයුතු කරන්න පටන් ගත්තේ. ඒ කාලයේ නිහඬව සිටි චරිතයක්. නිහඬව සිටින අය වෙනුවෙන් ඒ කියන්නෙ හඬක් නැති අය වෙනුවෙන් හඬක් නගන්නයි මට ඕනෑ වුණේ. 

ජීවිතය සුන්දරයි ද? 

වරදක් නැහැ. හොඳයි. 

රඟපෑම හැර වඩාත් පුළුවන් වෙන දේ මොනවද? 

දැනට මම කරාටේ පළමු පටි හෙවත් කළුපටි පළමු ශ්‍රේණියේ ඉන්නෙ. එහි ජාත්‍යන්තර ශ්‍රේණි පරීක්ෂණයට මේ දිනවල පුහුණු වෙනවා. ඒ හැරුණාම පිහිනීම, ටෙනිස් ක්‍රීඩා කරනවා. ඊට අමතරව රංගනයට අවශ්‍ය මූලාශ්‍ර සොයමින් පොතපත පරිශීලනය කරමින් අවශ්‍ය දේ සොයා යන කෙනෙක්. 

මිෂෙල්ට රහට උයන්නත් පුළුවන්ලු නේද? 

දහය වසරේ සිටියදී තමයි පුරුදු වුණේ. මම අම්මාට උදව් කළා. ඊට පස්සෙ මමම උයන්න පුරුදු වුණා. මම හදන හැම එකක්ම රහයි කියලා තමයි ගෙදර අය කියන්නේ. අලුත් විදියට වට්ටෝරුවලට අනුව කෑම හදන්න කැමතියි. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ