පොඩි කාලේ තිබුණ හීනවලින් උඩින්ම තිබ්බේ නිළියක් වෙන හීනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෝලම් කුට්ටම්, කියාදෙන්න ආදරේ තරම් ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයකම ඔබ දුටු සචින්ත්‍යා අරුන්දති පසුගිය වසරේ සිරස වසන්ත කුමරිය වෙයි. මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කරන සචින්ත්‍යා ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබට දකින්නටද ලැබේ. මේ අප ඇය සමග කළ කතා බහයි..

සචින්ත්‍යා රංගන ශිල්පිණියක් වුණේ කොහොමද?

සිරස වසන්ත කුමරිය විදියට ජයග්‍රහණය කිරීමත් සමගම තමයි කලා ක්ෂේත්‍රයට එන්න මාවත විවර වුණේ. ඒ එක්කම වගේ මම වීනාවි රංගන පාසලට සම්බන්ධ වුණා. එහිදි ලැබුණු ගුරුහරුකම් අත්දැකීම් වගේම හොඳ රංගන පුහුණුව මට ඉවහල් වුණා රංගන ශිල්පිණියක් විදිහට වෙනස් වෙන්න.

දැනට ඔබව ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබුණේ?

ස්වර්ණවාහිනියේ කෝලම්කුට්ටම සහ සිරසේ කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය  තුළින්. ඊට අමතරව මේ දිනවල ධනුෂ්ක රත්නායක අයියාගේ බයෝ සිවුවැනි අදියරයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ එක්කම ඔහුගේම තව අලුත් ටෙලිනාට්‍යකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. එකත් ළඟදීම රූපගත කිරීම් ආරම්භ කරයි කියලා හිතනවා.

කලාවට එකතු වුණ එක ගැන ඔබට මොකද හිතෙන්නේ?

මේ අවස්ථාව හැමෝටම ලැබෙන් නෑ ඉතින්. අතලොස්සකට ලැබෙන මේ වටිනා  අවස්ථාව මට ලැබුණ එක ගැන ලොකු සතුටක් තියෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රය තුළ හරි විදිහට නමක් දිනාගෙන ඉදිරියට යන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ.

මේක පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක්ද?

හීන නම් ගොඩක් තිබුණා. ඒත්, ඒ තිබුණ හීන වලින් උඩින්ම තිබුණ හීනය තමයි මේක. හැබැයි මේ හැම දෙයක්ම සිදු වුණේ අහම්බෙන්.  

වසන්ත කුමරිය වුණ එක ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණා නේද?

ඔව්, ඒකත් එක්තරා විදිහට මාව කලාවට සම්බන්ධ කරන්න මාර්ගයක් වුණා.

දිගටම කලාව එක්ක රැඳෙන්නද අදහස?

ඔව් අනිවාර්යයෙන්ම. මොකද, මේ මම ආසම කරන වෘත්තියක්. ඉදිරියට හොද චරිත ලැබුණොත් භාරගෙන රංගන ශිල්පිණියක් විදිහෙට දිගටම මම වැඩ කරනවා.

ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න දැනුමක් හැදෑරිමක් අවශ්‍යයි නේද?

ඔව්, ඒ නිසා තමා මම වීනාවී රංගන පාසලට සම්බන්ධ වුණේ. මේ වෙලාවේ ගොඩක් ආදරෙන් සහ ගෞරවයෙන් වීනාවී රංගන පාසලේ නිත්‍ය ගුරුතුමා වන ප්‍රියන්ත ලලිත් ගුරුතුමා සහ රංගන පාසල මෙහෙයවන ධනුෂ්ක රත්නායක අයියාව මතක් කරන්න ඕනේ. ඔවුන් තමයි මාව අද රංගන ශිල්පිණියක් විදිහට මේ තැනට ගෙන්න පුරෝගාමි වුණේ.  

මතක් කරන්න ඕනා පිරිසකුත් ඇති?

මගේ අම්මා, අප්පච්චි, මල්ලි, මාව සිරස කුමරිය තරගයට යවන්න ගොඩක්ම උදව් කළ මගේ නැන්දා, නංගී මගේ හොඳම යාළුවා හා විශ්වවිද්‍යාලයේ මගේ හොඳම යාළුවෝ තුන් දෙනාව ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර