පෙම්වතියගේ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ‘රාජිණි’ ටෙලි නාට්‍යයේ නෙත්මි කියන චරිතයට පණ පොවන නිපුනි සමරක්කොඩි වර්තමානයේ ටෙලි නාට්‍යයේ ක්ෂේත්‍රය තුළ සිටින නවක රංගන ශිල්පිණියකි. ‘රාජිණි’ ටෙලි නාට්‍යයට අමතරව ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දකින්නට පුළුවන.

නිපුනි කියන්නේ මේ දිනවල හැමෝම කතා කරන ජනප්‍රිය කෙනෙක් නේද?

ඔව් මම හිතනවා මම ජනප්‍රිය ඇති කියලා. මොකද, දෙරණ රූපවාහිනි නාළිකවේ විකාශය වෙන ‘රාජිණි’ ටෙලි නාට්‍යයේ මා නිරූපණය කරන නෙත්මි කියන චරිතයට ඉතා හොඳ රසික ප්‍රතිචාර මේ දිනවල මට ලැබෙමින් පවතින හින්දා.

ඔබ රංගන ශිල්පිණියක්ද එහෙමත් නැත්නම් නිරූපණ ශිල්පිණියක්ද?

මාව රංගන ශිල්පිනියක් විදිහට අඳුන්වනවට මම කැමතියි, මොකද, පොටෝ ෂූට් වගේ දේවල්වලට මම පෙනි හිටියට වෘත්තිමය මට්ටමේ නිරූපණ ශිල්පිණියක් නොවෙයි මම. නිරූපණය පැත්ත නම් මම හදාරලාම නැහැ. හැබැයි රංගනය කියන දේ නම් මම දැනට හදාරලා තියෙනවා.

රාජිණි ටෙලි නාට්‍යයේ නෙත්මි කියන චරිතය ඔබේ පළමු වැනි රංගන අත්දැකිමද?

‘රාජිණි’ කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය නෙමෙයි. 2015 වසරේ විකාශය වුණ ‘මීදුම් අම්මා’ කියන ටෙලි නාට්‍යය හරහා තමයි මම රංගන ක්ෂේත්‍රයට ආවේ. ඒ ටෙලි නාට්‍යයේ මම පෙනි හිටියේ පොඩි ගැණු ළමයෙකුගේ චරිතයට. මොකද, මමත් එතකොට ගොඩක් පොඩි කෙනෙක්. ඊට පස්සේ ‘සිතින් සියවරක්’ කියලා ටෙලි නාට්‍යයක රඟපැවා. පාසල් අධ්‍යාපන කටයුතුත් එක්ක කලා කටයුතුවලට මට තාවකාලිව සමුදෙන්න වුණා. නැවතත් ප්‍රේක්ෂයින් හමුවට මම ආවේ දැන් විකාශය වෙන ‘රාජිණි’ ටෙලි නාට්‍යය හරහා.

රාජිණි’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ආයෙත් ඔබව දකින්න පුළුවන් අපිට?

මහේෂ් කරුණාරත්න අයියාගේ ‘මර්ඩර්’ කියන ටෙලි නාට්‍යය තුළින් මාව ඉදිරියේදී දකින්න පුළුවන්. ඒ අතරේම ඉදිරියටත් මාව ‘රාජිණි’ ටෙලි නාට්‍යය හරහා මව දකින්න පුළුවන්.

පාසල් අතිතය මතකද ඔබට. ඒ කාලේ කලාවට දුන්න දායකත්වය කොහොමද?

පාසල් අධ්‍යාපනය ලබන කාලේ තමයි මම රංගන ක්ෂේත්‍රයට යොමු වුණේ. එකොළහ වසරේ අධ්‍යාපනය ලබන කාලේ තමයි අර මා කළින් සඳහන් කළ ‘මීදුම් අම්මා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ. පාසල් යන කාලේ නාට්‍යය හා රංග කලාව විෂයක් විදිහට හැදෑරුවා. ඊට අමතරව පාසල් යන කාලේ නර්තනයත් මම හැදැරූවා.

නිතරම සමාජ මාධ්‍යයන් තුළ නිපුනිව අපි දකිනවා. ඒ කියන්නේ ඔබ සමාජ මාධ්‍යයන් තුළ ජනප්‍රිය කෙනෙක්?

ඔව් මම හිතනවා මම සෝෂල් මිඩියාවල ජනප්‍රියයි කියලා. මොකද මගේ ටික් ටොක් ගිණුමේ දැනට පනස්දාහකට අධික පිරිසක් ඉන්නවා. ඒ වගේම ෆේස්බුක් ගිණුම හරහාත් මට විවිධ රසික ප්‍රතිචාර ලැබෙනවා. සමහර වෙලාවට ඒ ප්‍රතිචාරවලට ප්‍රතිචාර දක්වන්න බැරි වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඒ හැම දෙනාම මට දක්වන ප්‍රතිචාරවලට ගොඩක් ස්තුතියි කියනවා.

ඔබ රඟපාන්න වඩාත් කැමති චරිත තියෙනවද?

මම දැනට කරපු නිර්මාණ ගත්තොත් ඉන් බොහෝමයක් තියෙන්නේ දඟකාර පොඩි ගැහැණු ළමයින්ගේ චරිත. ඇත්තටම තමාත් මගේ පෙනුමත් එක්ක මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ එහෙම චරිත තමයි. මම කැමතියි ඒ චරිතවලින් ඔබ්බට ගිහින් පෙම්වතියගේ චරිතයක් කරන්න.

කලා ක්ෂේත්‍රයට ඔබ අලුත් කෙනෙක්. නවකයෙක් විදිහට මේ ක්ෂේත්‍රය ගැන ඔබ දරණ මතය?

නවකයෙක් විදිහට මම හිතන්නේ මේ ක්ෂේත්‍රය නරක නැහැ. අපි හොඳින් මේ ක්ෂේත්‍රයත් එක්ක ගණුදෙනු කරනවා නම් අපිට මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ දේ තියෙන්නේ අපේ අතේ. හොඳ විදිහට හිටියොත් අපිට මේ ක්ෂේත්‍රය තුළ හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන්.

රඟපාන එක නිපුනිගේ වෘත්තියද?

නැහැ. මම රැකියාව විදිහට කරන්නේ රාගම රජයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ. මම හිතාගෙන ඉන්නේ කලාව පැත්තෙන් වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය පැත්තෙනුත් ඉදිරියට යන්න.

අද කාලේ ක්ෂේත්‍රයට එන නවක අය ඉක්මන් ගමනක් යන්න උත්සාහ කරනවා. නිපුනිත් ඒ වගේ කෙනෙක්ද?

ඇත්තටම මම මේ ක්ෂේත්‍රය තුළ ඉක්මන් ගමනක් ආවේ නැහැ. 2015 වසරේ තමයි රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රයට ආවේ. වසර හතක් වුණත් තවමත් මාව නොදන්න මිනිස්සු බොහෝමයක් ඉන්නවා මගෙත් බලාපොරොත්තුවක් නැහැ අලුත් අය වගේ ඉක්මන් ගමනක් යන්න. මට මේ යන ගමන හොඳටම හොඳයි.

සටහන හා ඡායාරූප - බුද්ධික සේනාධීර