ප්‍රේක්ෂකයන්ගෙන් එන්නෙම බැණුම් - මට රංගනය වෘත්තියක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලෙන් කාලෙට පුංචි තිරය හැඩකරන අලුත් මුහුණු අතර මේ දිනවල පාර දිගේ ටෙලි නිර්මාණය හරහා මානවිගේ චරිතයෙන් ඔබ හමුවට එන ඇය ස්වප්නා පාදුක්කයි. රංගනයට අලුත් ඇය ‘‘කොත්තු’’ වෙළඳ දැන්වීමකින් වසර කිහිපයක්ම ලොකු කුඩා කාගෙත් ආකර්ශනය දිනූ ශිල්පිනියකි. අද කතා බහ ඇය සමඟයි. 

සම්පූර්ණ නම? 

ස්වප්නා පාදුක්ක

පාසල? 

කඳාන ශාන්ත සෙබෙස්තියන් බාලිකා විද්‍යාලය. 

පවුලේ තොරතුරු? 

පදිංචිය ජාඇල. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අයියයි, ලොකු අම්මයි, ආච්චි අම්මායි මමයි තමයි ඉන්නේ.

ඇයි ස්වප්නාට කලාව වගේ ක්ෂේත්‍රයක් තෝරගන්න හිතුනේ?

පුංචි කාලේ ඉඳලා රඟපාන්න මම ආසයි. පාසල් කාලේ ඉඳලා ටෙලිනාට්‍ය, චිත්‍රපටි බලනකොට මට හිතිලා තියෙනව කවදාහරි ඒ වගේ රඟපාන්න ඕන කියලා. නිළියක් වෙන එක පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්. 

මුලින්ම කොහොමද රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ?

ඇත්තටම මුලින්ම තිර පරීක්ෂණ වලට රංගනයට අලුත් අය හොයන වැඩ වලට දායක වුණත් මට අවස්ථාවන් ලැබුණේ නැහැ. 
ඔය අතරේ මගේ මිතුරෙක් හරහා පපරේ කොත්තු වෙළඳ දැන්වීමට දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහෙම ඉන්නකොට 2021 ස්වර්ණවාහිණියේ ස්වර්ණ අවුරුදු කුමරියට අයදුම් පත්‍ර දැම්මා. ඒ පැත්තෙන්වත් මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙවි කියලා ලොකු විශ්වාසයක් තිබුණා. එහෙදි මම ස්වර්ණ කුමරිය තරගයේ අවසන් පහළොස් දෙනා අතරට තේරුණා. එතනින් තමයි මම රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ. 

ඒ කියන්නේ මේක රූපය නිසා ස්වප්නාට ලැබුණු අවස්ථාවක්.

ඔව්. රූපෙත් යම් විදිහකට බලපෑවා. ස්වර්ණ කුමරිය අවසන් පහළොස් දෙනාට තේරුණාට පස්සේ ඒ තේරුණ අය අතරින් ටෙලි නාට්‍යයකට කියලා චරිත තේරුවා. එතනදී තමයි පාර දිගේ ටෙලි නාට්‍යයේ ‘‘මානවී’’ කියන චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණේ. මේ තරම් ඉක්මණට රංගනයට අවස්ථාව ලැබේවි කියලා ඇත්තටම හිතුවේ නැහැ. පාර දිගේ කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍යය. විශේෂයෙන් ඒ චරිතයට මම සාධාරණයක් කරාවි කියන විශ්වාසය මත මට මානවීගේ චරිතය දුන්නට අධ්‍යක්ෂ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මා ඇතුළු සියලුම දෙනාට ස්තූති කරනවා. 

මානවී කියන චරිතය කොහොමද ස්වප්නට දැනුණේ?

මේක ඉතින් මට අලුත්ම අත්දැකීමක්නේ. චරිතය දෙනකොට මට ටිකක් බයක් දැනුණා. මානවි කියන්නේ තාත්තා නැති අම්මා දෙවැනි විවාහයක් කරගෙන ඉන්න පවුලක දුවක්. අම්මාගේ දෙවැනි විවාහයෙන් නංගි කෙනෙක් ඉන්නවා. අපි දෙන්නා එක අම්මාගේ දරුවෝ වුණාට තාත්තලා දෙන්නෙක්. මානවී කියන්නේ හැම වෙලාවෙම නංගී එක්ක රණ්ඩු වෙවී ජීවත් වෙන චරිතයක්. මානවී කියන්නේ පොඩි කාලේ ඉඳලා හිත් රිදීම් වලට ලක්වෙලා, ඉන්න චරිතයක්. 

ස්වප්නාට ඉදිරියටත් රංගනයට ආරාධනා ලැබිලා තියෙනවද?

ඇත්තටම මානවීගේ චරිතයෙන් පස්සේ ඒක දැකලා මට නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතර වෙළඳ දැන්වීම් කිහිපයකුත් කළා. කොරෝනා ගැටලුව නිසා සමහර නිර්මාණ මඟ ඇරුණා. කොහොම වුණත් ආරාධනා ලැබුණු පලියට මම රඟපාන්න චරිත භාරගන්නේ නැහැ. මම කොහොමත් රංගනය වෘත්තියක් විදිහට කරන්න බලාපොරොත්තුවක් නැහැ. 

මානවී කියන චරිතය තමයි ස්වප්නාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන්නේ.... ස්වප්නට කොහොමද ප්‍රේක්ෂකයින්ගේ ලැබෙන ප්‍රතිචාර?

ටෙලි නාට්‍යයට ආපු මුල් කාලේ ඉඳලා අදටත් මානවී ගේ චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් එන්නේ ගොඩක් බැනුම් තමයි. මොකද මානවී කියන්නේ නපුරු චරිතයක්නේ... මුලින්ම මගේ පෙම්වතාට හිටියේ ගයාන් අයියා. කතාවේ මම එයාගේ පෙම්වතී වෙනවට ගයාන් අයියාට ආදරය කරපු ගෑනු ළමයි බැනලා ප්‍රතිචාර දක්වලා තිබුණා. 

ස්වප්නට සාපේක්ෂව ආදරේ කියන දේ කොහොමද දැනෙන්නේ?

ආදරේට විවිධ අර්ථකතන දෙනවා. මම දකින්නේ ආදරේ රඳා පවතින්නේ විශ්වාසය, අනෙකාට ගරු කිරීම සහ කරුණාව මත. ඒ හැමදේම හරියට දෙන කෙනෙක් ඉන්නවනම් එතන ආදරේ කරන්න රැඳෙන්න පුළුවන්. මට සාපේක්ෂව ආදරේ ගැන මම හිතන්නේ ඒ විදියට. 

අද වෙනකොට නිළියක් වෙන හීනය සැබෑ වෙලා. මොකද දැනෙන්නේ?

ගොඩක් සතුටුයි. එදා මාව ප්‍රතික්ෂේප කරපු ගොඩක් අය දැන් මට කතා කරනවා. සුබ පතනවා. මම ආසාර්ථක වෙලා ඉන්නකොට ස්වර්ණ අවුරුදු කුමරිය මට වාසනාව ගේනවා. වැටුණම තමයි ජීවිතේ ආයෙම නැගිටින්න හොඳම තැන. හැබැයි රඟපාන්න එන්න ආසාව තිබුණට රඟපාන්න ආවම තමයි රඟපාන එක හිතන තරම් ලේසි නෑ කියලා දැනුනේ. ටෙලි නාට්‍ය බලන එක තරම් රඟපාන එක සුන්දර නැහැ. 

මොනවද ස්වප්නගේ ඉදිරි බලාපොරොත්තු?

මම දැනට මෝස්තර නිරූපනය පිළිබඳ විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරමින් ඉන්නවා. ඉදිරියේදී වෘත්තිමය වශයෙන් ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තුව. රඟපෑම් කටයුතු දිගටම කරගෙන යනවා. 
මේ වෙලාවේ විශේෂයෙන් ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පීන් ගෞරවයෙන් මතක් කරනවා. මම නවකයෙක් කියලා සෙට් එකේදි කවදාවත් මාව කොන්කරලා නැහැ. ප්‍රවීණ අය මගේ අඩුපාඩු හදාගන්න ගොඩක් උදව්කරනවා. 

නදීශා අතුකෝරළ / ඡායාරූප – සජීව ලක්ෂාන්