පශු වෛද්‍යවරියක් වෙන්න හීන දැකපු හිරුණි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලයේ කලා ක්ෂේත්‍රය ආ නවක තරු අතරේ සුවිශේෂි තැනක් හිරුණි මංජලිට හිමිවෙයි. දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ශක්ති (සිදූ දෙවැනි කොටස) ටෙලි නාට්‍යයේ ලින්ඩිට පණ පෙවු ඇය ඉදිරි කාලයේදී තවත් කලා නිර්මාණ බොහෝමයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.

හිරුණි කලාවට සම්බන්ධ නොවුණා නම්..

බොහෝ විට මම පශු වෛද්‍යවරියක් වේවි. මොකද, පොඩි කාලේ ඉඳලාම මම සත්තුන්ට ගොඩක් ආදරේයි. පොඩි කාලේ නම් මම සත්තු ගොඩක් ගෙදර ඇති දැඩි කළා. හාවෝ, පුසෝ, කුරුල්ලෝ ගොඩක් මා ගාව හිටියා. ඒත්, දැන් නම් මම සත්තු හදන්නේ නැහැ. ඒ අය නැතිවුණාම මට ගොඩක් දුක හිතෙන නිසා. වෘත්තින් කිහිපයකම වැඩ කරපු නිසා පුංචි කාලේ දැකපු ඒ හීනේ මගෙන් ඈත්වෙලා ගියා. ඒත් අදටත් මම අසරණ සත්තු වෙනුවෙන් පුළුවන් හැම වෙලාවේම පෙනි ඉන්නවා.

ඔබට තියෙන්නේ ටිකක් දඟකාර පෙනුමක් නේද..

ඒක ඒක අයට මාව විවිධත්වයෙන් පේනවා. සමහර අයට මාව දඟකාර විදිහට පේනවා. සමහර අයට අහිසංක විදිහට පේනවා. හැබැයි මම හිතන විදිහට මම බොහෝම සරළ ගතිපැවතුම් ජිවීතයක් ගත කරන්න කැමති සරළ කෙනෙක්. හැමෝම එක්ක සුහදව කටයුතු කරන්න කැමති ආදරණිය චරිතයක් කිව්වොත් හරි.

ඔබ වෘත්තින් කිහිපයකම වැඩ කරපු කෙනෙක්..

ඔව්, මුලින්ම මම වෛද්‍ය රසායනගාරයක කාර්මික ශිල්පිණියක් ලෙස සේවය කළා. ඊට පස්සේ ඒ වෘත්තියෙන් ඉවත් වෙලා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට වැඩ කළා. ඔය අතරතුර තමා රංගනයට ආවේ ප්‍රදිප් මානවඩු අයියාගේ ආරාධනයක් මත. අධ්‍යක්ෂක තිළිණ බොරලැස්ස මහතාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මට රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලබාදුන්නට. දැන් මම රංගනයෙන් තාවකාලිව ඉවත් වෙලා ඉන්නවා. මොකද,  මනෝ විද්‍යාව පිළිබඳව වැඩිදුරටත් මම හදාරමින් ඉන්න නිසා.

ගොඩක් අය ඔබගේ ඇස් දෙකට කැමතියි..

ඔව්, ගොඩක් අය කියනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා. තව මට හිතෙනවා මගේ කොණ්ඩෙත් ලස්සනයි කියලා. මොකද, මගේ පෙනුම ගොඩක් වෙලාවට වැඩි කරන්නේ මගේ කොණ්ඩේ හා ඊට යොදන විලාසිතා නිසා. තවත් අය කියනවා මට ලස්සන හිනාවකුත් තියෙනවා කියලා.

ඔබ විනෝදාංශයක් විදිහට කරන්නේ මොනවද..

චිත්‍රපට ටෙලි නාට්‍යය නම් මම බලනවා අඩුයි. තව ගීත අහන්නත් මම ලොකුවට කැමති නැහැ. හැබැයි පොත් කියවන්න නම් ගොඩක් ආසයි. හැබැයි නවකතා වගේ දේවල් නම් නෙමෙයි. අත්භූත, මනෝ විද්‍යාත්මක පොත් වගේ දේවල් කියවන්න ආසයි. වෛද්‍යවරයෙක් ලියපු රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් කියන පොත මම කිහිප සැරයක් කියවලා තියෙනවා. පොත් ගොඩක් කියවලා තිබුණත් මගේ සිත්ගත්ම පොත ඒක.

බුද්ධික සේනාධීර
ඡායාරූප සජිව ලක්ෂාන්