බොලිවුඩ් යන එක තමයි ලොකුම හිනේ මගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල බොහෝ දෙනෙකු ආදරය කරන ටෙලි නාට්‍යයක් තමා දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ලොක්කි කතාව කියන්නේ. මේ කතාවේ තරූගේ චරිතයට රඟපාන්නේ කවුරුත් ආදරය කරන සවනි යකුපිටිය. ස්වර්ණවාහිනියේ ස්නැෆ්, සිරසේ රහයි ජිවිතේ හා හිත ළඟ හිනැහිලා කියන ටෙලි නාට්‍යය ඇතුළුව ඇය ටෙලි නිර්මාණ කිහිපයකටම වගේ දැනට දායක වෙලා තියෙනවා. මේ දිනවල කතා බහ වෙන යොවුන් රංගන ශිල්පිණියක් නිසාම අපත් මෙවර කලාපයෙන් ඇයට මෙසේ ඉඩක් වෙන් කළා.

සවනිට තියෙන්නේ ටිකක් දඟකාර පෙනුමක් නේද?

බොහෝ දෙනෙක් ඒක කියනවා. මම හිතන්නේ ලොක්කිගේ කතාවේ මම කරන තරූගේ චරිතය නිසා වෙන්න ඇති. මොකද, තරූ කියන්නේ කොළිලොල්, දඟකාර ගති පැවතුම් තියෙන කෙනෙක් නේ. හැබැයි ඇයට තියෙන ගතිගුණ බොහෝමයක් මටත් තියෙනවා. විශේෂයෙන්ම කේන්ති යන ඒක. හැබැයි ඉතින් ඒ කෙන්තිය තියෙන්නේ පොඩි වෙලාවයි. හරියට නිකම් සෝඩා බෝතලය කැඩුවා වගේ. ඇත්තටම කිව්වොත් මම ගොඩක් සංවේදි කෙනෙක්.

රංගනයට අමතරව සවනි දක්ෂ තව මොනවටද?

පාසල් යන කාලේ මම නර්තනය, ගායනය, රංගනය මේ හැමදේටම වගේ සහභාගි වුණා. සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ පවා මම අත්කරගත්තා. කොටින්ම කිව්වොත් පාසලේ හිටපු කැපී පෙනුණ ශිෂ්‍යාවක් මම. ඊට අමතරව පාසල් යන කාලේ ක්‍රීඩා තරගවලටත් ඉදිරිපත් වුණා. මලල ක්‍රීඩා තරගවලට හත අට වසරවල ඉඳලාම මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණත් අරගෙන තියෙනවා. ඊට අමතරව වෝලිබෝල්, නේට්බෝල් වගේ කණ්ඩායම් ක්‍රීඩාවලටත් මම සහභාගි වෙලා තියෙනවා.

සැඟවුණ දක්ෂතාවයක්ද ඇදුම් නිර්මාණය කරන එක?

කවුරුත් ලොකුවට දන්නේ නැති දෙයක් ඒක. මම තමයි මගේ හැම ඇඳුමක්ම වගේ නිර්මාණය කරන්නේ. ඇඳුම් මහන්න නම් මට බැහැ. හැබැයි මට ඇඳුම් විලාසිතා නිර්මාණය කරන්න පුළුවන්. ඊට අමතරව අත්කම් වැඩ එහෙමත් මට හොඳට කරන්න පුළුවන්. විවේකයෙන් ඉන්න ගොඩක් වෙලාවට ඉතින් අලුත් ඇඳුම් විලාසිතා කරන එක තමයි මගේ වැඩේ.

ලස්සනට අඳින්න පළදින්න එහෙමත් කැමති ඇති?

ගැහැණු අපි කවුද අකමැති ලස්සනට අඳින්න. ඇත්තටම හැමෝම වගේම මමත් ලස්සනට අඳින්න පළඳින්න කැමතියි. ඒ නිසාම තමයි මම මගේ ඇඳුම් මමම නිර්මාණය කරන්නේ. ගොඩක් වෙලාවට මම අඳින්න කැමති ඉන්දීයන් විලාසිතා. සාරි සල්වාරි මේ හැම දෙයක් වගේ මම හරිම ආසාවෙන් අඳිනවා. ඊට අමතරව ගවුම් අඳින්න කැමතියි. ඒක දිගද කොටට කියන එක ගැටළුවක් නම් නැහැ මට. ඒ ඇඳුම මට ගැළපෙනවා නම් මම ඒක අඳිනවා.

ඉන්දීයන් සිනමාවට වගේ සම්බන්ධ වෙන්න කැමති නැද්ද?

තියෙනවා. විශේෂයෙන්ම බොලිවුඩ් සිනමාවට මම කැමතියි. මගේ තියෙන ලොකුම හීනයක් තමයි බොලිවුඩ් චිත්‍රපටයක රඟපාන එක. මම හිතනවා කවදා හරි ඒ අවස්ථාව මට ලැබෙයි කියලා. ගොඩක් කැමතියි ක්‍රියාදාම චිත්‍රපටයක වගේ රඟපාන්න එහෙම නැත්නම් අභියෝගාත්මක චරිතයක් කරන්න. කොහොමත් මම එකාකාරි චරිත කරන්න කැමති නැහැ. විවිධ චරිත තුළින් මගේ රංගන හැකියාව පෙන්වන්නයි මට අවශ්‍යය.

විවේකයෙන් ඉන්න වෙලාවට මොකද කරන්නේ

නිදාගන්න එක තමා. ඒක තමයි මම විවේකයෙන් ඉන්න වෙලාවට වැඩිපුරම කරන්නේ. එහෙම නැත්නම් ඇඳුම් විලාසිතා නිර්මාණය කරනවා. රෙදි ටිකක් අරගෙන අලුත් විලාසිතා අධ්‍යයනය කරනවා. තව කණ්නාඩිය ඉස්සරහා ඉඳගෙන රඟපාන්න පුරුදු වෙනවා. ඒක ඒක හැඟිම් ඉස්මතු කරගෙන ඒ චරිතයට අරූඩ වෙන්න කොහොමද කියලා බලනවා. ඔය දේවල් තමා ඉතින් විවේකයෙන් ඉන්න වෙලාවට කරන්නේ.

රංගන ශිල්පිණියක්ට වඩාත් වැදගත් තමන්ගේ රුව රැකගන්න එක?

අනිවාර්යයෙන්ම. රුව වගේම ශරිරය සමබරව තියාගන්න ඒක. බොහෝ වෙලාවට මම කෑම පාලනය කරනවා. කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනා. අවශ්‍යයි කියලා හිතෙන ආලේපන හැරෙන්න ඔය කකුලට අතට මුණට තියෙන හැම ආලේපනයක්ම මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම තෙල් හා පිටි කෑම මම කන්නේ නැහැ. ගොඩක් වෙලාවට පළතුරු කනවා. සමහර විට මගේ රුව මේ තරම් ලස්සන වෙන එකේ රහස ඒක වෙන්න ඇති කියලා මම හිතනවා.

බුද්ධික සේනාධීර