මේක මගේ වෘත්තිය නොවෙයි. මොකද මම තාම විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට නවකයෙක් වූ සිතාරා කවිශ්කා දිසානායක සමගින් මෙවර අපි කතා බහා කළේමු. වර්තමානයේ කැළණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක් ලෙස කටයුතු කරන ඇය දැනට වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා පෙනි සිට ඇත. ඉදිරියේදී රංගනයටද පිවිසිමේ අදහසකින් පසුවෙන සිතාරා ඒ ගැන අපිට කිව්වේ මෙහෙමයි.

ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වුණේ අහම්බෙන්?

මම දැනට කැළණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ Mass Communication Department එකේ මහජන සම්බන්ධතා හා මාධ්‍යය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන ශිෂ්‍යාවක්. දවසක අපට විශ්ව විද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණයක් තිබුණා අපේ සිසු සිසුවියන් කණ්ඩායම විසින් ස්වයං රූපවාහිනි වෙළෙඳ දැන්වීම්‍‍ නිර්මාණය කරන්න. ඉතින් මාත් ඔය දැන්වීමට සම්බන්ධ වුණා. මම රඟපැවේ බැංකු නිලධාරිනියක් විදිහට. ඒ වෙළෙඳ  දැන්විමේ කෙටි විඩියෝපට ටිකක් මගේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රැම්ස් ගිණුම්වල දැම්මා. ඒක දැකලා තමයි මට ආරාධනාවක් ලැබුණේ කලාවට එකතු වෙන්න.

ඒ ලැබුණ අවස්ථාව ගැන කියමු?

කැළණි විශ්ව විද්‍යාලයේ mass communication higer diploma හදාරන මගේ සහෝදර ශිෂ්‍යයෙක් මට කතා කලා රූපවාහිනි වෙළෙඳ දැන්වීම් සඳහා රංගනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. මේක මටත් හොඳ අවස්ථාවක් කියලා මම ඒ වැඩේ භාරගත්තා. මොකද, තෙරේන කාලේ ඉඳලා මගේ හිතේ තිබුණා කලාවට සම්බන්ධ වෙන අදහසක්. හැබැයි මේ වැඩේ මම භාරගත්තේ හොඳට හිතලා බලලා. පළමු වතාවට දායක වුණ වැඩේ හොඳ කේරුණා. ඊට පස්සේ තවත් වෙළෙඳ දැන්වීම්, ඡායාරූප වලට පෙනි සිටින්න අවස්ථා කිහිපයක්ම මට ලැබුණා. ආරාධනා දිගටම ලැබෙද්දි මමත් කලාවට දිගටම සම්බන්ධ වුණා.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ලොකු කාලයක් නැහැ නේද?

ගිය වසරේදී. ලොකු කාලයක් නම් නැහැ තමා මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. කොටින්ම කියනවා නම් කලා ශිල්පිණියක් විදිහට මම ඉන්නේ තවමත් මුල් පියවරේ. තව ගොඩක් දුර මට මේ ක්ෂේත්‍රය තුළ යන්න තියෙනවා.

කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?:

ඇත්තටම කලා ක්ෂේත්‍රය ගැන ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. නිරූපණ ක්ෂේත්‍රය ගත්තොත් අද වෙන කොට ගොඩක් දක්ෂ නිරූපණ නිරූපිකාවන් බිහිවෙනවා, ඇත්තටම මම දකින විදිහට මේ ක්ෂේත්‍ර හරහා සිදුවන්නේ තමන්ගේ සැගවුනු දක්ෂතා හා කෞෂල්‍යයන් තමාට සහා අනෙක් අයට අඳුනා ගැනීමට ලැබෙන තෝතැන්නක් විදිහට.

දැනට ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

දැනට මම වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරවම ගොඩක්ම කරලා තියෙන්නේ ඡායාරූපවලට පෙනි ඉන්න එක තමා. ගොඩක් ආසාවෙන් ඉන්නවා රංගනය පැත්තටත් යොමු වෙන්න. බලමු ඉදිරියට.

කලාව වෘත්තියක් කරගන්න අදහසක් නැද්ද ඔබට?

ඇත්තටම නිරූපණය එහෙමත් නැත්නම් රංගනය කියන්නේ මම මගේ ජිවිතය තුළ ඉතාමත් කැමැත්තෙන් සිදු කරන දෙයක්. මේක මගේ වෘත්තිය නොවෙයි. මොකද මම තාම විශ්ව විද්‍යාලීය  අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්. ඒ නිසා අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා ඊට සම්බන්ධ වෘත්තියක නියැළෙන්න තමයි මගේ අදහස. ඒ එක්කම මම කැමති දෙයක් විදිහට කලා කටයුතුවලටත් දායක වෙනවා.

මතක් කළයුතු පිරිසකුත් ඇති ඔබට?

ඇත්තටම මට උදව් කලේ මගේ විශ්ව විද්‍යාලයේ ගෞරවණීය ආචාර්ය මණ්ඩලය සහ මගේ දයාබර යහළු යෙහෙළියෝ ටික. ඒ වගේම මගේ පවුලේ සමාජිකයන්. ගොඩක් අය ඉන්නවා. නම් කියන්න බැරි තරම්. ඒ හැමෝම මේ අවස්ථාවේදී මම ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර