මැක්ස්වෙල්, ධනුෂ්කට වඩා මට හිතෙන්නේ විරාත් කෝලි කඩවසම් කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වුවද මිනුරි ද සිල්වා බොහෝ දෙනෙකු වර්තමානයේ දන්නා හදුනන  නිරූපණ ශිල්පිණියක් බවට පත්ව සිටියි. ක්‍රමයෙන් නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගනිමින් ඉදිරියට එන මිනුරි ක්‍රිකට් ක්‍රීඩාවටද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ නිසාම ‘සාරවිට’ අපි ඇයට ඒ සම්බන්ධව ප්‍රශ්ණ කිහිපයක් යොමු කළා.

ක්‍රිකට්වලට ඔබගේ තියෙන මොන වගේ කැමැත්තක්ද?

පොඩි කාලේ ඉඳලාම ක්‍රිකට්වලට මම ගොඩක් කැමතියි. නුවර පල්ලේකැලේ ක්‍රිඩාංගණය තියෙන්නේ අපේ නිවසට පේන දුරින්.  පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තියෙන හැම ක්‍රිකට් තරගයක් වගේම නරඹනවා. දෙස් විදෙස් ක්‍රීඩකයෝ දකිනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තක් ඇතිවෙන්න ඒක හේතුවක් වුණා කියලා මම හිතනවා.

නරඹපු හොඳම ක්‍රිකට් තරගය මතකද? 

ඔව් මතකයි. 2014 වසරේ බංග්ලදේශයේ තිබුණ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය. ශ්‍රී ලංකාව එක්ක ඉන්දියාව තමයි අන්තිම තරගයට ක්‍රීඩා කළේ. අපි ඒ තරගය ජයග්‍රහණය කළා.

ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවද?

ඔව්, පාසල් යන කාලේදී ක්‍රිකට් ක්‍රීඩා කළා. මම දක්ෂ පන්දුවට පහර දෙන්න. පවුලේ අයත් එක්ක විවේකිව ඉන්න වෙලාවට කරන්නෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන එක තමයි.

මිනුරි කැමතිම ක්‍රිකට් කණ්ඩායම?

ශ්‍රී ලංකා කණ්ඩායම තමා. වර්තමානය කණ්ඩායම ගත්තොත් හොඳ දක්ෂ ක්‍රීඩකයින් පිරිසක්  ඉන්නවා. ඒ වගේම තමයි 96 ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණ ක්‍රීඩකයෝ හැමෝම වගේ දක්ෂ අය. 

ඔබ අන්තිමට නරඹපු ක්‍රිකට් තරගය කුමක්ද?

මේ කතා බහා යන අතරේ මම නරඹමින් ඉන්නේ ‘ගුජරාටි ටයිටන්ස්’ හා ‘රාජස්ථන් රෝයල්’ අතර  අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරගය. මෙවර ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ තරගාවලියේ මම හැම තරගයක්ම වගේ බැලුවා.

මිනුරි කැමතිම දේශිය හා විදේශිය ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

ශ්‍රී ලංකාවේ නම් මහේල ජයවර්ධන, විදෙස් ක්‍රිඩකයන් අතරින් නම් මම කැමතියි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රයන් ලාරාට. ඒ අයට කැමති වෙන්න හේතුව තමයි තරග කරන විලාසය. ක්‍රීඩා කරන කොට ගන්න තිරණ වගේම තරග ජයගන්න පාවිච්චි කරන ක්‍රමවේදයන්. අනෙකුත් ක්‍රීඩකයින්ට වඩා ඔවුන් දෙන්නාට තියෙනවා කියලා මට හිතෙනවා.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ මුණ ගැහිලා නැද්ද ඔබට?

නිවස ඉදිරියේම පල්ලේකැලේ ක්‍රීඩාංගණය. ඒ අය පුහුණුවිම් කරනවා නිතරම දකිනවා මම. ඕනා තරම් මුණ ගැහිලාත් තියෙනවා. නමුත්, කතා බහ කරන්න තරම් ලොකු උවමනාවක් මට තිබුණේ නැහැ ඒ අය සමග.

ඉන්දියාවේ විරාත් කෝලි, ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්, ලංකාවේ ධනුෂ්ක ගුණතිලක අතරින් කවුද කඩවසම් කියලා ඔබට හිතෙන්නේ?

විරාත් කෝලි තමයි කඩවසම්.

මිනුරි ක්‍රිකට් කණ්ඩායමක් නම් කරනවා නම් කවුද ඔබගේ ක්‍රීඩකයින් එකළොස් දෙනා?

සනත් ජයසුරිය, තිලකරත්න ඩිල්ශාන් තමයි මගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්. කුමාර් සංගක්කාර කඩුලු රකින්නා වගේම අංක තුන පිතිකරුවා. මහේල ජයවර්ධන, අරවින්ද සිල්වා මැදපෙළ පිතිකරුවන්. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයින්. මුරලිදරන්, වාස්, මාලිංග එක්ක අජන්ත මෙන්ඩිස් පන්දු යවන්නන් ලෙස මගේ කණ්ඩායමේ ඉන්නවා. 

බුද්ධික සේනාධීර