මගේ ජිවිතේ අඩක්ම මම කලාවත් එක්ක තමා ගෙව්වේ - වේදිකාව ජයගත් තිළිණි මධුවන්ති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකාව හරහා රංගනයට පිවිසි තිළිණි මධුවන්ති වර්තමානය වනවිට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමින් සිටියි. එකිනෙකට වෙනස් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ඔබට සමිප විමට උත්සාහ දරණ ඇය කල ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවෙයි. අද කතා බහ දිග හැරෙන්නේ අප ඇය සමගිනි.

ක්ෂේත්‍රයට ඔබේ පිවිසිම සිදු වුණේ කෙහොමද?

මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන අතරතුර විශ්ව විද්‍යාලයේ විවිධ නිර්මාණයන්ට දායක වුණා. ඒඅතරතුර කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය ගුරුතුමන් විසින් ලලිතා සරච්චන්ද්‍ර මැතිණියට මාව හඳුන්වා දුන්නා. ඊට පස්සෙ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර  ශූරීන්ගේ වේදිකා නාට්‍යය රැසකටම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහෙම තමයි මම ක්ෂේත්‍රයට පිවිසුණේ.
 

ඔබ දායක වුණ කල නිර්මාණ ගැනත් අපි දැනගන්න කැමතියි?

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ "මනමේ" වේදිකා නාට්‍යයේ (මනමේ කුමරිය), පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ (ස්වර්ණතිලකා), සිංහබාහු නාට්‍යයේ (සිංහසීවලී) ලෙසින් වගේම මහාසාර වේදිකා නාට්‍යයෙත් මම රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නව නිෂ්පාදනයක් වූ "චෙරි වත්ත" නාට්‍යය, නිලංක නාමල් මහතාගේ "ඔරෙස්ට්‍රස්" නාට්‍යය, නිමල් ඒකනායක මහතාගේ "සොක්රවටීස්" නාට්‍යය, අනුර පෙරනගම මහතාගේ "වර්ණයාගය" සහ අඛිල සපුමල් මානවඩු මහතාගේ "ගුත්තිල කාව්‍යය" යන වේදිකා නාට්‍යය වලටත් දායක වුණා. ඒවගේම ටිකිරි රත්නායක මහතාගේ "කුසුමාසන දේවි", වාසිත සමරනායක මහතාගේ "ඕලු බැද්ද "වගේ ටෙලි නාට්‍යයවලටත් මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.
 

තිළිණි ගැන අපිට අඳුන්වලා දෙමු?

මම ඉපදුනේ පොළොන්නරුවේ. මගේ පවුලේ අම්මා, තාත්තායි, මල්ලිලා දෙන්නයි. මම මූලික අධ්‍යාපනය හැදැරුවේ වීරලන්ද කනිෂ්ට විද්‍යාලයෙන්. ඊට පස්සේ වෙහෙරගල මහා විදයාලයට සම්බන්ධ වෙලා උසස් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් අධ්‍යපනය නිමා කරලා මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යලයේ ප්‍රසාංගික කලාවේදී විශේෂ උපාධිය අවසන් කළා. දැනට අභ්‍යාසලාභී උපාධිධාරීනියක් වශයෙන් සෞඛ්‍ය අමාතංශයේ සේවය කරනවා.

කලාවට සම්බන්ධ නොවුනා නම් ඔබ කවුරු වේවිද?

කොහොමත් පොඩි කාලේ ඉඳන් කැම්පස් එන්න ලොකු ආසාවක් තිබුණා. කලාවට සම්බන්ධ නොවුණා  නම් ඉතින් ඉගෙනීමට සරිලන රැකියාවක් කරයි බොහෝ විට මම. කොහොමත් මම දැනටත් කලාවට සම්බන්ධ නොවුන තැනක තමයි රජයේ රැකියාව නිරත වෙලා ඉන්නේ.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ එක සතුටක්ද?

මගේ ජීවිතේ බාගෙට බාගයක්ම මට කලාවට සම්බන්ධ වෙලා කලාවත් එක්ක ඉන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම කොහොමත් කලාවට ආදරෙයි. මගේ පවුලේ අයත් කලාවට බොහොම ලැදි අය කිව්වොත් හරි.

දිගටම කලාවත් එක්ක රැදෙන්න අදහස?

ඔව්. මොන වෘත්තියේ වැඩ කළත් හැම වෙලාවකම දිගටම කලාවත්එක්ක රැඳිලා ඉන්න තමයි මම කැමති.

ඉදිරිය කොහොම වෙයිද?

මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිතර වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව හොඳ කලා නිර්මාණ වලටත් දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

උදව් කරපු අය?

මගේ පවුල මුලින්ම මතක් කරන්න ඕනා. මගේ පාසල් නර්තනාචාර්යය සමන් පුෂ්පකුමාර ගුරුතුමා, පාසල් නාට්‍යය හා රංග කලා ආචාර්ය උදේනි ගුරුමහත්මිය ආදරයෙන් සිහිපත් කරනවා. ඒ එක්කම කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය ගුරුතුමන්ව මතක් කරන්න ඕනා. ඒ වගේම මගේ හැම මොහොතකම මට ගුරුහරුකම් දෙන මාව අම්මා කෙනෙක් වගේ බලාගන්න ලලිතා සරච්චන්ද්‍ර මැතිණියව ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර