මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය රූපවාහිනී අවුරුදු කුමරිය වීමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2021 වසරේ ජාතික රූපවාහිනියේ රූ කිරූළ දිනා ගනිමින් කලා ක්ෂේත්‍රයට පැමිණි සංතුෂා කුමාරසිංහ වර්තමානය වනවිට කලා ක්ෂේත්‍ර කිහිපයකටම සම්බන්ධව සිටියි. මේ වනවිට නීතිවේදී උපාධිය හදාරන ශිෂ්‍යාවක්ද වන ඇය කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන්ද සිටියි. මේ දිග හැරෙන්නේ අප ඇය සමග කළ කතා බහයි.

සංතුෂා කියන්නේ අවුරුදු කුමාරියක්?

ඔව්, ජාතික රූපවාහිනී නාළිකාවේ රූ කිරුළ 2021 තරඟාවලියේ අවසන් තරගකාරියන් නම දෙනා අතරට මම තේරී පත් වුණා. එහිදී 2021 රූ කිරුළ හොඳම කේෂකල්‍යාණිය හිමි කුමරිය හා නවලිය ජනප්‍රියම කුමරිය විදිහට කිරුළු දිනාගත්තෙත් මම.

ඔබ දැන් කලාවට සම්බන්ධ වුණ කෙනෙක්?

මම නිවේදන ක්ෂේත්‍රයට වැඩි කැමත්තක් දක්වනවා. ඉතින් මේ වන විට නිවේදන ක්ෂේත්‍රයේ රූපවාහිනී නිවේදිකාවක් හා අනෙකුත් නිවේදන කටයුතු වලට සම්බන්ධ වෙලා  කටයුතු කරනවා. ඊට අමතරව හඬකැවීම්, වෙළඳ දැන්වීම් හා නිරූපන ක්ෂේත්‍ර වලටත් සම්බන්ධ වෙමින් වැඩ කටයුතු සිදු කරනවා.
රංගනය පැත්තට දැන් සංතුෂා යොමු වෙලා තියෙනවා,

රංගනය ගැන කතා කලොත් රංගනයට නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. ‍රංගන ජීවිතයේ ආරම්භයේ ඉදන් මොහොත වනතුරුත් ඒ ආරාධනා වලින් නම් අඩුවක් නෑ. මම කලා ක්ෂේත්‍රයට මුලින්ම පිවිසුනේ 2019 වසරේදී. මගේ පළමු රංගනය වෙන්නේ චතුර ජයතිලක සර්ගේ "එවින්ගේ කතාව" (Docu Drama). එහි මා ප්‍රධාන චරිතයට පණ පෙවුවා. මෙරට ප්‍රසිද්ධ නාලිකාවල වගේම අන්තර්ජාතිකව රටවල් කිහිපයකත් එය විකාශය වුණා. "එවින්ගේ කතාව" සම්මාන සඳහාදත් නිර්දේශ වුණා. දෙරණ නාළිකාවෙහි පෝය නාට්‍යයක  ප්‍රධාන චරිතයට පණ පොවන්නත් මට අවස්ථාව ලැබුණා. රංගනයට නම් මම ගොඩක් ආදරෙයි. තවමත් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක් නිසා කාලය කළමණාකරණය කරගනිමින් තමා රංගනය කියන දේට මම සම්බන්ධ වෙන්නේ.

ඔබ ක්ෂේත්‍ර කිහිපයකම වැඩ කරන කෙනෙක් කිව්වොත් හරි?

ඔව්, එහෙම කියන්න පුළුවන්. රංගන ශිල්පිණියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිණියක් කියලා රාමුවකට කොටු වෙලා නෑ .තමන්ගේ හැකියාවන් අඳුරගෙන ඒ තුළින් ඉදිරියට යන්න මම කැමතියි. ඒ නිසා ක්ෂේත්‍ර කිහිපයකට මම සම්බන්ධ වෙලා වැඩ කරනවා.

කලාව වෘත්තියක් විදිහට කරන්නද අදහස?

මෙහෙමයි, මම නීතිවේදී උපාධිය හදාරන ශිෂ්‍යාවක්. ඒ තුළින් වෘත්තීමය ජීවිතය ගොඩ නගාගන්න එක තමා මගේ ඉලක්කය. කලාවට මම ආදරෙයි. මම හිතනවා මා තෝරාගන්නා වෘත්තීමය ජීවිතය මගේ කලා ගමනට බාධවක් වෙන්නෙ නෑ කියලා.  හැබැයි තවම මම ශිෂ්‍යාවක්. ශිෂ්‍යාවක් විදිහට කාලය කියන දේ තමා මට වටිනාම දේ. ඒ නිසා කාලය කළමණාකරණය කරගනිමින් තමා දැනට කලාවට සම්බන්ධ වෙන්නේ. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා කලා ක්ෂේත්‍රය තුළිනුත් ඉදිරියට යන්න.

සංතුෂාගේ ජිවිතේ හැරවුම් ලක්ෂය විදිහට දකින්නේ මොකක්ද?

මගේ ජීවිතේ හැම මොහොතක්ම මට හැරවුම් ලක්ෂ්‍යයක් වගේ තමා දැනෙනවා. ජාතික  රූපවාහිනී අවුරුදු කුමරියක් විදිහට තේරීපත් වීම තමා මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට දකින්නෙ. මට මාව අදුරගන්න අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ලැබුණේ ඒ නිසයි. මගේ පාසල වන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ චම්පිකා කොළඹාරච්චි ගුරුතුමියව ආදරෙන් මතක් කරන්න ඕනේ. මගේ ගුරුතුමී තමා අවුරුදු කුමාරි තරඟයට අයදුම් කෙරෙව්වේ.

පවුලේ අයගෙන් ලැබෙන සහය මොන වගේද?

පවුල නිසා තමා මම අද මෙහෙම ඉන්නේ. අම්මා තමා මගේ ගුරුවරයා, හෙවනැල්ල, ශක්තිය ඒ හැමදේම. තාත්තා, අම්මාගෙන් පටන් අරන් සහෝදර සහෝදරියන් දක්වාම මට ලොකූ සහයක් දක්වනවා. රූපගත කිරිම්වලට යන්න මම එක්ක කැපවෙලා එන්නේ අම්මයි, මල්ලිලා දෙන්නයි තමා. ඒ වගේම රවී අබේවික්‍රම සර්ව මතක් කරන්න ඕනේ. නිවේදන ක්ෂේත්‍රයට මාව ගත්තේ සර්. ආදරෙන් මතක් කරන්න ඕනේ යක්කල Salon Shiny සුදර්ශනී වනසිංහ අක්කාව. ඇය තමා එදා ඉදන්ම අම්මා වගේම මාව ලස්සන කරන්න මහන්සි වෙන්නේ.

බුද්ධික සේනාධීර