මගේ ජීවිතයේ මම ගත්ත හොඳම තීරණය තමයි එයාව විවාහ කරගන්න ගත්ත තීරණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘මයන්ත අයිති මට, මයන්ත මගේ, මයන්ත මට අයිති වෙන්නේ නැත්නම් මං එයාව කාටවත් අයිති වෙන්න දෙන්නෙ නැහැ.’’ 
මේ විදියට කියන්නෙ ‘ඇය’ නාට්‍යයේ ‘රිතූ’. ‘රිතූ’ ලෙස එලෙසින් චරිතයකට දායකව සිටින චතූ රාජපක්‍ෂ සැබෑ ජීවිතයේදී මේ විදියට කියන්නෙ දර්ශනටයි. චතූගෙ සැබෑ ජීවිතයට ආ මේ දර්ශන කවුද? අද සඳැල්ල කවරය හැඩ කරන චතූ ඒ විස්තර අපට කියාවි.

‘ඇය’ නාට්‍යයේ රිතූ වූ චතූ කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳින් සතුටින් ගෙවිලා යනවා.

ඒ සතුටට හේතුව කියමු?

දැනට විකාශය වෙන්නෙ ‘ඇය’ විතරයි. ඒත් ඊට අමතරව තව අලුත් නාට්‍ය තුනක් විකාශය වීමට තියෙනවා. ඊට අමතරව තව අලුත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබී තියෙනවා.

ඒ කියන්නෙ අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ‘චතූ’ නැතුවම බැරි චරිතයක්?

එහෙමම කියන්නෙත් බැහැ. දවසින් දවස අලුත් තරු බිහි වෙනවා. ඒ හැමෝටම වගේම මටත් අනන්‍යතාවයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මට අවස්ථා ලැබෙන්නෙ.

‘ඇය’ ‘රිතූ’ ගැන කියමු?

බොහොම නපුරු චරිතයක්. නමුත් ප්‍රේක්‍ෂකයින් ආදරය කරන චරිතයක්. ඒත් ඩ්‍රාම එක බලලා ඒකට දාන ප්‍රතිචාර දිහා බැලුවාම, මිනිස්සු ඩ්‍රාමා එක සහ සැබෑ ජීවිතය පටලවාගෙනද කියලා හිතෙනවා. ඒක මගේ සැබෑ ජීවිතය නෙවෙයි. මම තාත්විකව ඒ චරිතය රඟපාන නිසා මිනිසුන්ට ඒ විදිහට දැනෙනවා ඇති.

රඟපෑම සහ නිවේදනය, හැර වෙන මොනවද කරන්නෙ?

ඊට අමතරව වෙන මොනවත් කරන්නෙ නැහැ. ඒත් ඉදිරියේදි සැමියා කියන්නෙ එයාගෙ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා වැඩ කරන්න කියලයි.

ඉතින් සැමියා ගැන කියමු?

එයා ව්‍යාපාරිකයෙක්. එයාගෙන් මගේ වැඩ වලට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා නීති-රීති දාන්නෙ නැහැ. එයා නිතරම කියන්නෙ හොඳ දේ තෝරා බේරාගෙන වැඩ කරන්න කියලයි.

ඒ ආදර කතාව කියමු?

අපි විවාහ ගිවිස ගෙන මාස 9ක් විතර වෙනවා. ඉතින් ඔක්තෝබර් වෙද්දී වෙඩින් එක ගන්න හිතාගෙන ඉන්නෙ. ඒත් මේ කොවිඩ් තත්ත්වය නිසා හරියටම කියන්න බැහැ. එයා මට හම්බවෙන්නෙ ආදරවන්තයින්ගේ (වැලන්ටයින්) දවසෙදියි. රණවිරු සෙවණේ පැවැති වැඩ සටහනකට එයා ඇවිත් හිටියා. එතැනින් පසුව අපි යාළුවෝ වුණා. තවත් ටික කාලයක් යද්දී ඒ යාලුකම ආදරයකට පෙරළුණා.

එයාගෙ නම කියමු?

දර්ශන ඩී. කොස්තා.

ඇයි දර්ශනට හිත ගියේ?

හිත ගියා කියලා කියන්නත් බැහැ. මොකද මාස ගණනක් යාළුවෝ වගේ හිටියදී, අපි දෙන්නට ආදර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා හිතුනා. එයාගෙ ගතිගුණ සහ හරියට මගේ රැකියාව ගැන හිතනබව තේරුණා. ඒ දේවල්වලට මම ආසයි.

එයාගෙ ගම?

කිරුළපන.

මොන වගේ පවුලක කෙනෙක්ද?

බෞද්ධ පවුලක කෙනෙක්. ව්‍යාපාරික පවුලක් කිව්වොත් හරි.

මොනවගේ ව්‍යාපාරද?

රසායන අංශයේ ව්‍යාපාරයක්.

මේ ‘ආදරය’ අද චතූට දැනෙන්නෙ කොහොමද?

මගේ ජීවිතයේ මම ගත්ත හොඳම තීරණය තමයි එයාව විවාහ කරගන්න ගත්ත තීරණය. මට දැන් ජීවිතය ගැන ලොකුවට හිතන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. මට කලින් එයා ඒ ගැන හිතලා ඉවරයි. ඒ නිසා මගේ ජීවිතය හරිම සැහැල්ලුයි. අනාගතය ගැන බයක් නැහැ.

‘චතූ’ සුරතල් සතුන්ට හරි ආසයි නේද?

පුදුමෙ කියන්නෙ මේ බලු පැටියා මට තෑගි කලේ මගේ සැමියා. ඊට කලින් මම සතුන් හදලා තිබුණේ නැහැ. තනියම ඉන්න වෙලාවට මගේ පාළුව මකන්නෙ ඒ සුරතල් බලු පැටියා. හරි හුරතල්. මේ සුරතලාගෙ නම ‘බෲනෝ’ කොවිඩ් කාලයේ මම ගෙදර තනියම හිටියෙ. ඉතින් මගේ පාළුව මකන්න තමයි එයා මට මේ බලු පැටියා ගෙනැත් දුන්නෙ. දැන් මම යන-එන හැම තැනකටම බෲනෝ එක්ක යනවා. මම ෂූටිං යන දිනවලට සැමියාගෙ ගෙදර දාලා යනවා.

සතුන්ට දක්වන ආදරය සහ සතුන්ගෙන් ලැබෙන ආදරය මොනවගේද?

ඒක හරි අමුතු දෙයක්. අපි කොච්චර සැර කලත් පාරක් ගැහුවත් අපි ළඟට ඇවිත් ආදරය කරනවා. මිනිස්සු වෙලාවකට එහෙම නැහැනෙ. මිනිස්සු බලන්නෙ පළිගන්න. ඒත් සත්තු එහෙම නැහැ.

චතූගෙ ගෙදර විස්තර?

අම්මා විදේශගතවෙලා ඉන්නෙ. තාත්තයි, අක්කයි, මල්ලියි, නංගියි, මමයි පවුලෙ ඉන්නෙ. අක්කයි, මල්ලියි විවාහ වෙලා. නංගි තවම ඉගෙන ගන්නවා. අපේ ගම බදුල්ල. දැන් පදිංචිය ‘බිබිලෙ’.

‘බිබිලෙ’ දොඩම් රසද?

එහෙම කිව්වට කොළඹ තරමටවත් දොඩම් එහෙ දකින්න නැහැ. එහෙම ලොකුවට දොඩම් දකින්නත් නැහැ. ඉස්සර කාලයේ එහෙම තිබුණද දන්නෙ නැහැ.

‘චතූ’ ලංකාවේ ආසම තැන?

නුවර එළියට. 

‘විවාහය’ චතූ අර්ථ දක්වන්නෙ කොහොමද?

විවාහය දිහා අපි බලන විදියට තමයි ඒක හොඳද නරකද කියලා පෙනෙන්නෙ. ඒත් ඉතින් අපි හොඳ විදිහට ජීවත් වුණොත් හොඳ ප්‍රතිඵල. ඍණාත්මකව හිතුවොත් ඒ විදියට දැනේවි.

විවාහය ශක්තිමත් කර ගන්න නම්?

දෙන්නාට දෙන්නා අවංක වෙන්න ඕනෑ. දුකේදී-වගේම සතුටෙදි දෙන්නා එකට ඉන්න ඕනෑ.

බිරිඳක් කියන්නෙ?

ඕනෑම අවස්ථාවකදී සැමියා ගන්න තීරණයට අවනත වන්න ඕනෑ. එවිට ප්‍රශ්න අඩුයි.

‘චතූ’ හොඳ ගෘහණියක්ද?

ඔව්, අනිවාර්යයෙන්ම ඔව්. මොන දේටත් වඩා මම මුල්තැන දෙන්නෙ පවුල් ජීවිතයට.

හොඳට උයන්නත් පුළුවන්?

ගෙදර ඉන්න සැම දවසකම උයන්න කැමතියි. සැමියා, චිකන්, පරිප්පු, අල කරිය කන්න ආසයි. ඉතින් ඒවා මම රසට හදලා දෙනවා. මේ ළඟදී මම හදපු දෙල් මාලුව එයා පුදුම ආශාවෙන් කෑවෙ.

ඒ කියන්නෙ වැඩේ දෙල් වුණේ නැහැ. 

නැහැ, වැඩේ රසටම ආවා.

‘ආදරය’ කියන වචනයට ඔබ සමාන වචනයක් කිව්වොත්?

ආදරය කියන්නෙ හැඟීමක්. 

ප්‍රවෘත්ති නිවේදනයේදී මේ දක්වා ඔබ මුහුණ දුන් අමතකම නොවන අවස්ථාව කියමු.

පළමු දවසේ මම නිවුස් කියන්න ගියාම ගොඩාක් බය වුණා. පුටුවෙ වාඩිවෙලා මට මේ වැඩේ කරන්න බැහැ කියලත් කිව්වා. ඒත් අමාරුවෙන් හරි කිව්වා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ