මගේ පළමු චිත්‍රපටය ඉක්මණටම ප්‍රදර්ශනය වේවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ පිරිස් අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියක් ලෙස කාවින්ද්‍යා දුල්ෂානි හැඳින්විය හැකිය මීට දින කිහිපයකට පෙර ස්වර්ණවාහිනි නාළිකාව හරහා විකාශය ආරම්භ කළ ‘කෝලම්කුට්ටම්’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ඇය මෙවර ‘සාරවිට’ අපි සමගින් මෙසේ කතා බහකට මුලපිරුවෙමු.

ඔබ මේ දිනවල දකින ‘කෝලම් කුට්ටම්’ ගැන මුලින්ම කියමුද?

මේ දිනවල මාව ටෙලි නාට්‍යය කිහිපයකින්ම දකින්න පුළුවන්. ‘කෝලම් කුට්ටම්’ කියන්නේ ඒ ටෙලි නිර්මාණ අතරින් අලුතින්ම විකශය වෙන්න පටන් ගත්තු ටෙලි නාට්‍යය. මෙහි මා නිරූපණය කරන්නේ ‘මිණිමුතු’ කියන ප්‍රධාන නිළි චරිතය. ටෙලි නාට්‍යය අගේස්තු 03 වැනිදා සිට රාත්‍රි 9.30ට ස්වර්ණවහිනි නාළිකාව තුළ විකාශය වෙනවා.

රංගනයෙන් දායක වුණ සෙසු චරිතත් එක්ක ගත්තොත් මේක වෙනස්ම එකක්ද?

ඔව්, මීට කළින් මම ගැමි චරිත කිහිපයක්ම කරල තියෙනවා. නමුත්, ‘කෝලම් කුට්ටම්’ ටෙලි නාට්‍යයේ ‘මිණිමුතු’ කියන චරිතය ගත්තොත් මම කළින් කරපු ගැමි චරිත එක්ක වෙනස්ම එකක්. පවුලේ බර කරට අරගෙන ඉන්න ගැහැණු ළමයෙක් තමයි ‘මිණිමුතු’ කියන්නේ. හැම වෙලාවේම අභියෝග භාරගන්න ඒ වගේම තමන්ගේ පවුල ශක්තිමත් කරන්න නිතරම උත්සාහ ගන්න ගැණු ළමයෙක් විදිහට තමයි මේ චරිතය ගලාගෙන යන්නේ. මේ චරිතය මට ලොකු අභියෝගයක් වුණා. මොකද, මේ වගේ චරිතයක් මම මීට කළින් රඟපාලා නැති නිසා. 

පසුගිය කාලේ ටෙලි නාට්‍යය වල වැඩ කළාද?

ඔව් පසුගිය කාලේ වැඩ කළා. කිසිම වෙලාවක මම වැඩ කරන එක නතර කළේ නැහැ. සිරසේ විකාශය වුණ ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම එකදිගට වැඩ කිහිපයක්ම කළා. මේ දිනවල මා රංගනයෙන් දායක වුණ  ‘විසේකාර හාදුවක්’, ‘ගගන පියවර’, ‘මැස්සා’ හා ‘කෝලම් කුට්ටම’  විකාශය වෙනවා. 

කාලයක් වෙනවා දැන් ඔබ ක්ෂේත්‍රයට ඇවිල්ලා?

ඔව්, ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම වසර හතක් විතර වෙනවා. මේ කාලය ඇතුළත මම ටෙලි නාට්‍යය වගේම චිත්‍රපටවලත් රඟපාලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වගේ රූපවහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට පවා මම කටයුතු කරල තියෙනවා. ඇත්තම කිව්වොත් දැන් නම් මාව මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් කියලා හඳුන්වන්න බැහැ.

ජනප්‍රිය තරුවක් නිසා ඔබ දැන් මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙලාද?

ස්ථාරවද නැද්ද කියන එක ඇත්තටම කියන්න අමාරුයි. මොකද, මේක ස්ථාවර රැකියාවක් නෙමෙයි හැමදාම කරන්න. අපේ දක්ෂතාවය අඳුනගෙන කෙනෙක් අපිව ඔවුන්ගේ නිර්මාණයට සම්බන්ධ කරගන්නවා විතරයි මේකේ සිද්ධ වෙන්න. හැබැයි ඉතින් අපි අපේ දක්ෂතාවය අඳුනගෙන ඒක හැදැරිම් කරලා ඔප දාගන්න ඕනා. නැතුව ඉතින් මේ ක්ෂේත්‍රය තුළ රැඳීමක් නැහැ. මොකද, ඕනැම ක්ෂේත්‍රය රැඳෙන්න නම් හැකියාව, දක්ෂතාව අනිවාර්යෙන්ම තියෙන්න ඕනා.

කෝලම් කුට්ටම්වලින් පස්සේ අපි ඔබව දකින්නේ?

රූපගත කරපු නාට්‍යය කිහිපයක්ම තියෙනවා මගේ එන්න. නමුත්, ඒවා විකාශය වෙන දින තවමත් ප්‍රසිද්ධ කරලා නැහැ. ඒ වගේම කියන්න ඕනා දෙයක් තියෙනවා මගේ පළමු චිත්‍රපටය. මම ගොඩක් ආසවෙන් බලාපෙරොත්තුවෙන් ඉන්නවා ඒක ප්‍රදර්ශනය කරන කම්. මම හිතෙනවා නුදුරේම දේශිය සිනමාව හරහාත් මාව දකින්න ලැබෙයි කියලා. 

බුද්ධික සේනාධීර