මගේ සීයා මැරෙන්න කලින් පුංචි රුක්මණී කියලා මට නමක් දාලා තිබුණෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියන්නේ ඇය රුක්මණී දේවියගේ දෙවැනි උපත කියාය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. රුක්මණී දේවියට තිබූ මධුර හඬට සමාන අයුරින් ගී ගයන නිසාය. එපමණක් නොවේ. රුක්මණී දේවිය මෙන් ඇයද සුන්දර රූ සපුවක් ඇති ශිල්පිනියකි. හඬ වගේම පෙනුමින්ද ලස්සන ඇය ටෂ්නි පෙරේරාය. මේ ලස්සන සුන්දර ටෂ්නි යනු කලා ක්ෂේත්‍රයේ පවුලකින් පැවත එන ශිල්පිනියකි. අද සඳැල්ල කවරය සහ පිළිසඳර හැඩගන්වන්නේ ඇයයි. 

ටෂ්නි ඒ නම හැර ඔබට තවත් නම් තියෙනවද? 

ටෂ්නි චතුරංගි පෙරේරා. 

ටෂ්නිගෙ පරපුරේ විස්තර කියමු? 

මගෙ සීයා තමයි සංගීතඥ වික්ටර් දළුගම. එතුමාගෙ දෙවැනි විවාහයේ බිරිඳ මගේ ආච්චි. මගේ ආච්චිලා තුන්​ දෙනා ගැන කිව්වොත්. ඒ තුන්දෙනාම ඒ දිනවල ගුවන් විදුලියෙ ළමා පිටියේ ප්‍රකටව සිටි ගායනා ශිල්පිනියක්. විජිත කුසුම් ලියනගේ, අයිරින් ලියනගේ සහ නොයෙලින් ලියනගේ, මගේ ආච්චිලා තුන්දෙනාගෙ නම් ඒ විදියයි. ඒ තුන්දෙනාම එදා ළමා පිටියේ ඒ ශ්‍රේණියේ ගායිකාවන්. 

ඒ කියන්නේ ටෂ්නි ලේ උරුමයෙන්ම හැකියාව අරන් ආ කෙනෙක්? 

එහෙම කිව්වොත් හරි. 

ටෂ්නිගෙ අම්මා තාත්තා ගැන කිව්වොත්?

මගෙ අම්මයි තාත්තයි දෙන්නම විදෙස්ගත වෙලා හිටියෙ. එයාලා හිටියෙ ජපානයෙ. පසුව ලංකාවට ආවා. තාත්තා අපේ නැන්දගෙ ව්‍යාපාර බලා කියා ගෙන කටයුතු කරනවා. අම්මා නම් ඉන්නේ ගෙදර. 

පවුලේ එකම දරුවා ටෂ්නිද? 

මමයි, මගේ අයියයි, මගේ අක්කයි. 

අක්කයි, අයියයි සිංදු කියන්නෙ නැත් ද? 

ඒ දෙන්නටම ගීත ගයන්න පුළුවන්. ඒත් එයාලා ඒකට වැඩිය කැමති නැහැ. එයාලා කරන්නෙත් බිස්නස්. 

ටෂ්නිගෙ ගම? ඉගෙන ගත්ත පාසල? 

මගේ ගම පිළියන්දල. ඉගෙන ගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළ දක්වාම සංගීතය ගැන හිතුවෙ නැහැ. අරමුණ තිබුණෙ හොඳ රැකියාවක් කරන්න ඕනෑ කියන එක විතරයි. 

ඉතින් රැකියාවක් කළා ද? 

නැහැ. පාසල් ජීවිතයෙන් පස්සේ මටත් ‘ස්ටාර්’ කියන ආසාව ආවා. වයසත් එක්ක එහෙම හිතෙන්න ඇති. ඉන් පස්සෙ රියැලිටි වැඩසටහනකට අයදුම් කළා. ඒත් ගෙදර අය කවුරුවත් කැමති වුණේ නැහැ. එයාලගෙ අරමුණ වුණේ මම හොඳට ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් කරනවාට. ඒත් මගේ ආච්චි විජිත කුසුම් ලියනගේ මාව දිරිමත් කළා. ආච්චි මට සපෝට් එක දීගෙන, අම්මවයි, තාත්තවයි ෂේප් කරගෙන ඒ වැඩේට යන්න අවසර අරන් දුන්නා. ඒ රියැලිටි ෂෝ එකේ දී මට ලැබුණෙ සිව්වැනි ස්ථානය. ගායන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යය ඇති වුණේ එතැනින්.

හැබැයි වැඩි දෙනෙක් හිතුවෙ ටෂ්නි, රුක්මණී දේවියගෙ ඥාති දියණියක් කියලයි? 

අපේ ආච්චි විජිත කුසුම්, සීයා වික්ටර් දළුගම ඇතුළු පවුලේ අයගෙ ලොකු ඇසුරක් එදා රුක්මණී දේවි මහත්මිය එක්ක තිබිලා තියෙනවා. මගේ සීයා මැරෙන්න කලින් පුංචි රුක්මණී කියලා මට නමක් දාලා තිබුණෙ. එතකොට මම සිංදු කියලවත් තිබුණෙ නැහැ. මොකද  එතකොට මම බොහොම පොඩියි. හැබැයි දන්නා කාලයේ ඉඳලාම රුක්මණී දේවි මහත්මියගෙ සිංදු කියන්න මට තිබුණෙ ලොකු ආසාවක්. ඒ වගේම පසුව ඒ ආසාව ඉටුකර ගන්න පුළුවන් වුණා. දෙරණ ‘ඩ්‍රීම්ස්ටාර්’ එකේ දී මම ගායනා කළේ එතුමියගෙ ගීතයි. 

ටෂ්නිගෙ ප්‍රියතම ගායිකාව කවුද? 

තුන් දෙනෙක් විතර ඉන්නවා. ඒ අතරින් රුක්මණි දේවිය ඉදිරියෙන්ම ඉන්නවා. 

රුක්මණී දේවියගෙ ගීත ඔබ ගයද්දී, සිරුරින් රිද්මයක් දෙන අතරේ, හරි හුරතල් විදියට ගායන රිද්මයක් ගන්නා බව පෙනෙනවා. මේක වුවමනාවෙන්ම කරන දෙයක් ද? 

කොහෙත්ම නැහැ. පුදුමෙ කියන්නෙ, එතුමියගෙ ගීතයක් ගයන්න වේදිකාවට ආවාම ඒක ඉබේම මට ඇතිවන දෙයක්. මට එච්චරටම ඒ ගීත සමීපයි. සමහර වෙලාවට පෙර පුහුණුවක්වත් නැතුව පවා මම එතුමියගෙ ගීත ගයලා තියෙනවා.

රුක්මණී දේවිය තමයි මේ නැවත ඉපදිලා ඉන්නෙ කියලා කවුරුවත් කියලා නැද්ද? හඳහන එහෙම බලලා?

බොහෝ දෙනෙක් කියලා තියෙනවා. අනේ මන්දා ඉතිං. 

සැබෑ ජීවිතයේදී ටෂ්නි මොන වගේ කෙනෙක්ද? 

මට ටිකක් කෙන්ති යනවා. එහෙම වෙන්නෙ අනවශ්‍ය දේවලට විතරයි. මං හිතන්නෙ ඒක හැමෝටම තියෙන දෙයක්. 

රුක්මණී දේවිය, ගැයුම විතරක් නෙවෙයි, රංගනයත් කළා. ඇයි ටෂ්නි රඟ නොපාන්නේ? 

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වාට රුක්මණී දේවිය බො​හෝ දේට දක්ෂ වුණා. ඒත් මම පුද්ගලිකව කැමති එක් දෙයක් හරියට කරන්නයි. මම හිතන්නෙ රඟපාන්න මට හැකියාවක් නැහැ. 

මේ දක්වා ටෂ්නි ගැයූ ගී අතරින්, වැඩිපුර ජනප්‍රිය වුණේ? 

මේ ළඟදී එළි දැක්වූ ‘කාගෙ කවුද’ ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඒ ගීතය එක්ක මේ වනවිට මගේම කියලා ගීත 3ක් කරලා තියෙනවා. සුමුදු පියාපත්, ගීතය කළේ වසර 10කට විතර පෙරදි. මහා කළුවරයි කියලා තව ගීතයක් කළා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබුණෙ. තව ඉදිරියට ගීත කීපයක්ම එන්න තියෙනවා. ලොකුම වෙනසක් එක්ක වෙනස්ම ගීත නිර්මාණයක් කරන්නත් මේ දිනවල සුදානම් වෙනවා. ඒක ඇත්තටම ලොකු  වෙනසක් වේවි. 

මෙච්චර ලස්සන ටෂ්නි කාගෙ කවු ද? 

මම විවාහකයි. මහත්තයාගෙ නම ගයාන් ධනුෂ්ක විශ්වජිත්. එයා ව්‍යාපාරිකයෙක්. අපි දෙන්නගෙ බබාට අවුරුදු දෙකක් වෙනවා. ඇත්තම කිව්වොත් මම සංගීත කටයුතු තාවකාලිකව නවත්තලා තිබුණෙ. එහෙම තිබිය දී, මාව දිරිගන්වලා නැවත ගීත ගයන්න මට දිරියක් දුන්නෙ සැමියා. එයා මාව හරියට උනන්දු කරවනවා. 

ඒ හමුව ගැන කිව්වොත්? 

එයාගෙන්ම ආව යෝජනාවක්. ඒ දැන හඳුනා ගැනීම එක්ක තමයි විවාහය දක්වා දුරගිය ගියේ. මගේ ගමන තවත් වර්ණවත් කළේ එයා. 

ටෂ්නිට ටෂ්නි ගැන ආඩම්බර වෙන්න පුළුවන් තවත් දේ තියෙනවද? 

මගේ අම්මටයි, තාත්තටයි පිංසිද්ධ වෙන්න. අපට හැමදේම උගන්වලා තියෙනවා. ගෙදර දොර වැඩ පවා. මගේ ආච්චිත් බොහෝ දේ මට ඉගැන්නුවා. අම්මයි - තාත්තයි විදෙස්ගතව සිටි කාලයේදී විජිත කුසුම් ලියනගේ මගේ ආච්චි තමයි මාව බලා ගත්තෙ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ