මට ඕනේ All Rounder කෙනෙක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි චමත්සරා. ඒ වගේම ඇය මේ වනවිට නවක රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. චමත්සරා නර්තනය තුළින් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන ශිල්පිනියක්. ඉතින් ඇය සමග සාරවිට අපි කතාබහකට එකතු වුණා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම චමත්සරා නවෝදි. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මායි තාත්තායි. දැනට මම නර්තන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නර්තනය පටන්ගන්නේ කොහොමද?

මම නර්සරි යන කාලේ ඉඳලාම ඩාන්සින්වලට ආසාවක් තිබුණා. පොඩි කාලේ ඉඳලාම ඩාන්සින් කරලා, ඕලෙවල් ඒලෙවල්වලටත් ඩාන්සින් කළා. මම ට්‍රැඩිෂනල් ඩාන්සින් ඉගෙනගෙන තියෙන්නේ. දැන් වෙස්ටන් ඩාන්සින් ඉගෙනගන්නවා. මම ෆ්‍රීලාන්ස් ඩාන්සර් කෙනෙක්. මම Competition වලට සහභාගී වෙලා නැහැ. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා Competition වලට යන්නේ නැහැ කියලා.

දායක වුණු නිර්මාණ මොනවාද?

ඩාන්සින් පැත්තෙන් මියුසික් වීඩියෝ රැසකට දායක වෙලා තියෙනවා. ඒවායෙනුත් ගොඩක්ම ජනප්‍රිය වුණේ ශම්මි ප්‍රනාන්දුගේ ‘ලාවට’ කියන මියුසික් වීඩියෝ එක. ෆිල්ම්වල ගීතවලට ඩාන්සින් කරලා තියෙනවා. සුපර් ඩාන්සර්, මෙගා ස්ටාර්, සිහින රැයක් වගේ වැඩසටහන්වල කණ්ඩායම් නර්තනයන්ට සම්බන්ධ වෙනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

මුලදි නම් තාත්තා කැමති වුණේ නැහැ. තාත්තා කිව්වේ ඩාන්සින් මගේ විනෝදාංශයක් විදිහට කරලා වෙන ක්ෂේත්‍රයකින් ගමනක් යන්න කියලා. ඒත් අම්මා මට ගොඩක් ලොකු සහයක් දුන්නා මුල ඉඳලාම. දැන් නම් හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා.

සාම්ප්‍රදායික නර්තනයෙන් බටහිර නර්තනයට එන්න හිතුවේ ඇයි?

කොහොමත් අපිට පුංචි කාලේ ඉඳලා ඉගෙනගන්න තියෙන්නේ ට්‍රැඩිෂනල් ඩාන්සින්නේ. මම පායිම්පත් තියලාත් තියෙනවා. නමුත් අපිට දැන් ගොඩක්ම ඩාන්සින් කරන්න ලැබෙන්නේ වෙස්ටන් ඩාන්සින්නේ. හැබැයි දැනටත් ට්‍රැඩිෂනල් ඩාන්සින්වලට තමයි තැනක් තියෙන්නෙත්. ඒක නිසා ඒ දේවලුත් ඉගෙනගන්න ඕනේ වුණා. මට ඕනේ ඩාන්සින්වලින් All Rounder කෙනෙක් වෙන්න. ඒකට හැම නර්තනයක්ම හදාරන්න අවශ්‍යයයි.

ඔබ නිරූපණයත් කරනවා නේද?

ඔව්. මම ඒක විනෝදාංශයක් විදිහට කරන දෙයක්. ලොකුවට ඉගෙනගෙන හදාරලා නැහැ. මගේ යාළුවෙක් කතා කළා බ්‍රයිඩ්ල් ෂූට් එකකට. ඒකෙන් පස්සේ තමයි ආරාධනා ලැබෙන්න ගත්තේ. ෆ්‍රී ටයිම් එකක් තිබුණොත් වැඩ කරනවා.

ඊට අමතරව මොනවාද තව කරන්නේ?

රංගනය පැත්තෙනුත් ඉස්සරහට යන්න ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.

රංගනයට ආරාධනා ලැබිලා තිබෙනවාද?

ඔව්. මේ දවස්වලත් නිර්මාණයකට දායක වෙනවා. ඉස්සරහට ඒකත් බලාගන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මට ඕනේ ඩාන්සින්වලින් ඉස්සරහටම යන්න. මම දැනටත් ඩාන්සින් ඉගෙනගනිමින් ඉන්නේ. ඒ වගේම රංගනය තුළිනුත් දිගු ගමනක් යන්න කැමතියි.

උදව් කළ අයව මතක් කළොත්?

විශේෂයෙන්ම අම්මාවයි තාත්තාවයි මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ නෑදෑ වන අයියලා දෙන්නෙක් ඉන්නවා. එයාලා තමයි මගේ අඩුපාඩු කියලා ළඟින්ම ඉන්නේ. ඒ වගේම මගේ යාළුවෝ හැමෝමවත් මතක් කරනවා.

කැළුම් දේවින්ද