මට හංගන්න දෙයක් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ නාලිකාවේ ‘සිදු’ නාට්‍යයට අලුතින්ම එක්වූ ‘පූර්ණා’ ලෙස රංගනයෙන් දායකවන්නේ ඇයයි. ඊට අමතරව ITN නාලිකාවේ විකාශය වන ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නාට්‍යයේ ‘සුජාතා’ සහ ‘වලවෙට්ටුවා’ (ස්වර්ණවාහිනියෙ) ‘පුෂ්පා’ ලෙස මේ දිනවල අපට හමුවන දිලිනි ලක්මාලි තිරිමාන්න සමග අපි සුන්දර කතාබහකට එක්වෙමු.

• අගෝස්තුවත් ඉවර වෙන්නයි යන්නෙ, සැප්තැම්බරයේ දිග දවසක් එනවා. එතකොට දිලිනිගෙ ජීවිතේ දිග දවස එන්නෙ මොන මාසයේදීද?

අනේ මන්දා. මැයි මාසයේදි ඒවි කියලා හිතෙනවා.

• මැයි පහුවුණානෙ?

ලබන අවුරුද්දෙ මැයි

• දැන් ඉඳලාම ලැහැස්ති වෙන්නෙ ඒකටද?

අනේ මම විහිළුවට කිව්වෙ. කොහොම වුණත්, ලබන අවුරුද්දෙ මගෙ ජීවිතේ දිග දවසට ලැහැස්ති වෙන්න ඕනෑ. මොකද දැන් ඒකට කාලය හරි. ගෙදරිනුත් ඒ ගැන කියනවා.

• වැඩිදෙනෙක් කතා කරන්නෙ දිලිනි කියලද? ලක්මාලි කියලද?

දිලිනි කියලා තමයි හැමෝම වගේ කතා කරන්නෙ.

• දිලිනි රංගනයට ඇවිත් කොච්චර කල්ද?

2008 ආවේ. දැන් අවුරුදු 13ක් විතර වෙනවා.

• අදටත් ගමේ ඉඳලම නේද වැඩවලට යන්නෙ?

අපේ ස්ථිර පදිංචිය කොස්ගම. එහෙ ඉඳලා තමයි මේ වැඩවලට යන්නෙ එන්නෙ.

• දිලිනි උපන්නෙ කොස්ගමදී ද?

නැහැ. මට උපන්නෙ කොළඹ රාජගිරියෙ කලපළුවාවෙ. උපන්දා ඉඳලා අවුරුදු 16 ක් විතර හැදී වැඩුණෙ කොළඹදී. අපේ නැන්දලා ඒ දිනවල කොස්ගම පදිංචියට ඇවිත් හිටියෙ. ඉතින් තාත්තාටත් ආසා හිතිලා කොස්ගමින් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න. අපිත් කොස්ගමට ඇවිත් තියෙන්නෙ එහෙමයි.

• තාත්තා මොනවද කරන්නෙ?

පෞද්ගලික අංශයේ රියැදුරකු ලෙස සේවය කරනවා. අම්මා නම් රැකියාවක් කරන්නෙ නැහැ. මගේ මල්ලි සූපවේදියකු ලෙස ඩුබායි රටේ සේවය කරනවා.

• දිලිනි ජීවිතේ කිසිදෙයක් හංගන කෙනෙක් නෙවේ කියලයි බොහෝදෙනා කියන්නෙ?

බොහෝ වෙලාවට මම ඇත්ත කතා කරන කෙනෙක්. මට හංගන්න දෙයක් නැහැ.

• දිලිනිට, දිලිනි ගැන හිතෙන්නෙ කොහොමද?

මගෙ ජීවිතේ මට මම ගැන කියන්න කිව්වොත්, මට මගෙ ගැන ආඩම්බරයි. මා සතුව හොඳ ගතිගුණ ටිකක් තියෙනවා කියලා හිතෙනවා. තව කෙනෙක් ගැන හිත උණුවෙන කෙනෙක්. හොඳ හදවතක් තියෙනවා කියලා හිතනවා. ඒ විදියට ජීවත්වෙන එක ගැන මට සතුටුයි.

• මේ වගේ ක්ෂේත්‍රයට එන්න නොලැබුණේ නම්, දිලිනි මොනවද කරන්න හිතාගෙන හිටියෙ?

ඒ කාලයේ ඉඳලාම මගේ කැමැත්ත තිබුණෙ ගුවන් සේවිකාවක වෙන්නයි. රඟපාන්න ආ මුල්කාලයේදී ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයට පවා ලැහැස්ති වුණා. නමුත් ඒකට යොමුවෙන්න බැරිව ගියා. අදටත් මම ඒ රස්සාවට ආසා කරනවා. කවුරුහරි මගෙන් ඇහුවොත් ඔයා ආසාම රස්සාව මොකක්ද කියලා, මම කියන්නෙ ගුවන් සේවිකා රස්සාව කියලයි. රංගන ශිල්පිනියක වුණේ නොහිතපු විදියටයි.

• දිලිනි රංගනයේදී වැඩිදෙනා හඳුනාගන්නෙ මොන චරිතයෙන්ද?

සිවගුරුනාදන් මහතාගේ නාට්‍යයේ ‘පියුමි මිසී’ ලෙස ජනප්‍රිය වුණේ. පසුව සිවා අයියාගෙම ‘අඟුරු සිත්තම්’ නාට්‍යයේ ‘බෝනික්කි’ චරිතය සහ මෑතකදී රඟපෑ සුමිත් රත්නායක අයියගෙ ‘මද්දහනේ’ ‘රම්‍යලතා’ කියන චරිතය නිසයි. ඒ විදියට තවත් චරිත තියෙනවා.

• පෙරුම් පුරාගෙන හිටපු කෙනෙක් ජීවිතේ ඉන්නවද?

අනන්ත බාධක දුක් විඳගෙන ආදරය කරලා නැහැ. ඒත් ආදර සබඳතා තිබිලා තියෙනවා.

• ආදරය අහිමි වුණාම කොහොමද ඒ ගැන හිතුවෙ?

නොගැලපීම් එක්ක ජීවිතේ ගෙනියන්න අමාරුයි. ජීවිතේ වයස එක්ක අත්දැකීම් එක්ක හිතනකොට, තමන් කළ හරි දේ වැරදි දේ තේරුම් ගන්න පුළුවනි. ජීවිතේ හැටි එහෙමනෙ. ඕනෑම කෙනකුගේ ජීවිතේ ආදර සබඳතා ඇතිවෙනවා, නැතිවෙනවා. ජීවිතේ අත්දැකීම් එක්කනෙ අපි පරිණත වෙන්නෙ.

• දිලිනි ආදරේ කියන්නෙ මොකක් කියලද හිතන්නෙ?

ආදරේ කියන්නෙ ඇත්තටම සුන්දර හැඟීමක්. ඒ ආදරේට දෙන්න ඕනෑ වටිනාකම් ටික එකතුවුණාම තමයි ආදරේ සුන්දර වෙන්නෙ. ඒ විදියට වටිනාකම එක්ක ආදරේ කරන්න පුළුවන් කෙනෙක් ජීවිතේට සම්බන්ධ වුණාම ජීවිතේ සුන්දර වේවි. ආදරේ කියන්නෙ ඒකපාර්ශ්වීය දෙයක් නෙවෙයිනෙ.

• විවාහවන කෙනා ළඟ තිබෙන්නට ඕනෑ ආදරය විතරද? මිල මුදල් වත්කම් නැතුව අද ආදරේ වැඩක් නැහැ කියලා නේද කියන්නෙ?

ඒක එක එක්කෙනාට විවිධාකාරව අර්ථකථනය කරන්න පුළුවන්. මම  දකින විදියට මම හිතන පතන විදියට කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන් ආදායම් මාර්ගයක් ඇති වුණාම හොඳටෝම ඇති. එක එක්කෙනාට අනුව එය වෙනස් වෙනවා. රස්සාව අනුව මම ආදරය වර්ග කරලා නැහැ.

• අපි කතා කරමු මේ දිනවල රඟපාන හැටි. කොවිඩ් අස්සෙ රඟපෑම දැනෙන්නෙ මොන විදියටද?

ඒක ඇත්තටම අමාරුම කාර්යයක්. අපි අවුරුදු දෙකක් තිස්සේ මේ කොවිඩ් එක්ක ගැටෙනවා. කලාකරුවො ලෙස අපි මේ වැඩේ කරන්නත් ඕනෑ. කලාකරුවන් හැර, රූගත කිරීමේදී දර්ශන තලයේ සිටින තාක්ෂණික ශිල්පීන් ඇතුළු සියලුදෙනා ගත්තොත් එයාලා අපට ලබාදෙන්නෙ පුදුම විදියෙ සහයෝගයක්. ඉතාම ආරක්ෂිතව, සෞඛ්‍ය ක්‍රමවේදයන් නිසිලෙස අනුගමනය කරමින් අපි ඒ වැඩවලට දායක වෙනවා. ආරක්ෂිත විදියට මාස්ක් පැලඳගෙන, සැනිටයිසර් භාවිත කරමින් නිතරම කටයුතු කරන නිසා, අපි සෑහෙන්න ආරක්ෂිතයි. අමාරුවෙන් වුණත් අපි නිසි ක්‍රමවේදයන් භාවිත කරනවා.

• ‘දිලිනි’ ඔබ හොඳ ගායන හැකියාවක් තියෙන කෙනෙක්. විවිධ උත්සවවලදී ගී ගයනවා. ඔබගේම ගීත කරන්න අදහසක් නැද්ද?

ගායන ප්‍රසංග වෙනුවෙන් පසුගිය කාලයේදී විදේශ සංචාරවලටත් සහභාගි වුණා. ලංකාව ඇතුළේ උත්සවලදීත් එහෙම කරන නිසා ගීත ගයන්න පුළුවන් කෙනෙක් කියන එක බොහෝදෙනා දන්නවා. හැබැයි ඒ වුණාට මගේම නිර්මාණ කරන්න තරම් මම දක්ෂ නැහැ.

• කාගේ ගීතද වැඩිපුර ගයන්නෙ?

චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගෙ, සුජාතා අත්තනායක මහත්මියගෙ ගීතවලට වැඩිපුර ආසයි.

• සුජාතා අත්තනායක මහත්මියගෙ දිලිනි ආසම ගීතයක් මතක් කළොත්?

හෘදෙ රස මාලිගේ
ප්‍රීති වේ මා හදේ
ඔබෙ දායාදේ...

• ‘දිලිනි’ කිව්වාම ඇත්තටම කොහොම චරිතයක්ද?

මම හිතන විදියට මම හරි සංවේදී චරිතයක්. තව කෙනකුගේ හැඟීමක් තේරුම් ගන්න පුළුවන්, පිහිට වෙන්න පුළුවන් චරිතයක් කියලා හිතනවා.

• ගෙදර ඉන්න දවස්වලට ගෙදර උයන්නෙ දිලිනිලු නේද?

අනේ අපෙ අම්මා අපට ගෙදර වැඩපළ හැමදේම උගන්වලා තියෙන්නෙ. ගෙදර මොන දෙයක් වුණත්, හදිසියකදී කෑමක් හදාගන්න විදිය මට උගන්නලා තියෙන්නෙ.

• ඒ විදියට උයන්න අවස්ථාවක් ආවාම දිලිනි මොන වගේ කෑම වේලක්ද හදාගන්නෙ? දිලිනිගෙ වට්ටෝරුව කියන්න.

බත්, චිකන් කරි එකක්, පරිප්පු, ගොටුකොළ සම්බෝලයක්, පපඩම් බැදලා, ඇඹරැල්ලා වගේ දෙයක් තිබුණොත් හදනවා. මම හරි ආසයි මැච් කරලා උයන්න. ලස්සනට පෙනුමට තියෙන්නත් ඕනෑ. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ