මොන වෘත්තිය කළත් කලාවෙන් ඉවත් වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අයෝමි මධුෂානි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට තවමත් නවකයෙක්. සමාජ මාධ්‍යය හරහා නිතරම නිරූපණ කටයුතුවලට දායකව සිටින ඇය කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂා කරමින් සිටියි. මේ නිසාම මෙවර සාරවිට තුළින් අප ඇයටද මෙසේ ඉඩක් වෙන් කළා.

නිරූපණයට ඔබ යොමු වුණේ කොහොමද?

නිරූපණ ක්ෂේත්‍රයට නම් අලුත් කෙනෙක්. ආවේ ගිය වසරේදී. පොටෝ ෂූට් එකක් කළා මගේ යාළුවෙක්ගේ පොටෝග්‍රෑෆි එක්ෂිබිශන් එකකට. ඒ කරපු පොටෝ ටික දැකලා ගොඩක් අය මට කතා කළා ඒ අයගේ වැඩවලට. ඉතින් තෝර බේරගෙන ඒ දේවල්වලට මම දායක වුණා. එහෙම තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

නිරූපිකාවක් විදිහට වැඩ කරන්න කැමත්තක් තිබුණද?

නිරූපණයට එන්න එහෙම ලොකු ආසාවක් මට තිබුණේ නැහැ. තෙරේන කාලේ ඉදලා මගේ ආසාව වුණේ ගුරුවරියක් වෙන්න. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි අදහස තිබුණේ මගේ. නමුත්, අහම්බෙන් මට අවස්ථාව ලැබුණා නිරූපණය පැත්තට යොමු වෙන්න. නමුත්, නිරූපණ කටයුතුවල යෙදෙන අතරේ මම පෞද්ගලික පාසලක ගුරුවරියක් විදිහටත් වැඩ කළා කාලයක්.

නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබේ මතය?

ක්ෂේත්‍රය ගැන කියනවා නම් නිරූපණ ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක හොඳ නරක කියන දේ තියෙනවා. ඉතින් හොඳ දේවල් තෝරගෙන මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න ඕනා. නරක දේවල්වලට යොමු වුණොත් පැවැත්මක් නැහැ. ඉතින් මගේ අදහස නම් හොඳ නිර්මාණ තෝරගෙන තමන්ටත් හානියක් නොවන විදිහට වැඩ කරනවා නම් මේක හොඳ වටින ක්ෂේත්‍රයක් කියලා.  

දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?

ගොඩක්ම ඉතින් පොටෝ ෂූට්වලට තමා මම පෙනී ඉඳලා තියෙන්නේ. ජාත්‍යන්තර මට්ටමේ පොටෝ ෂූට්වලට තමයි වැඩිපුර දායකත්වය දුන්නේ. ඊට අමතරව කෙටි චිත්‍රපට, රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලටත් මම පසුගිය කාලේ දායක වුණා. මම හිතනවා නුදුරේම ඒ නිර්මාණ එළිදකියි කියලා.

නිරූපණය කියන්නේ ඔබේ වෘත්තියද?

මුලින් නම් වෘත්තියක් විදිහට තමයි මේක කළේ. ඊට පස්සෙ මාස තුනක වගේ කාලයක් මම ගුරුවරියක් විදිහට සේවය කලා පුද්ගලික පාසලක. ඉදිරියේදී මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබද හදාරන්න අදහසක් තියෙනවා. බොහෝ දුරට අනාගතයේදී ඒ පැත්තෙන් මම වෘත්තියක් තෝරගනියි කියලා හිතනවා.

මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්න කැමතිද?

කලාවට මම ගොඩක් ආදරය කරන කෙනෙක්. මේ ක්ෂේත්‍රය තුළින් මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ගොඩක් අය අයෝමි මධුෂානි කියලා කෙනෙක්ව අඳුනගත්තෙත් මේ ක්ෂේත්‍රය හරහා කිව්වොත් හරි. වෘත්තියක් විදිහට වෙනත් ක්ෂේත්‍රයක මම වැඩ කළත්, කලා ක්ෂේත්‍රය තුළින් ඉවත් වෙන්න මගේ කැමැත්තක් නැහැ.

උදව් කරපු අය?

නම් වශයෙන් නම් කියන්න අමාරුයි. ගොඩක් අය ඉන්නවා. මම අද යම් තැනක ඉන්නවා නම් ඉන්නෙ මගෙ අම්මා නිසා. මොකද, හිතින් වැටුනු හැම වෙලාවකම මගේ ළගින් ඉඳගෙන මාව දරාගෙන ඉදියේ මගේ අම්මා. ඒ වගේම මගේ නංගි, පෙම්වතා සජන් දෙන්නා. ඊට අමතරව ගයාන්, සහන්, ඉසුරු, චමල්, උදය, භාෂිත, දිනුෂ, ප්‍රබෝද, නිපුන කියන ඡායාරූප ශිල්පින්ටත්, සැලොන් දර්ශි එකේ අක්කාවත් ආදරයෙන් මතක් කරනවා. තවත් බොහෝ පිරිසක් ඉන්නවා නම් නොකියූ ඒ අයවත් මේ වෙලාවේදී ආදරයෙන් මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර