මොනදේ කළත් මම මුල්තැන දෙන්නේ මගේ රැකියාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ මාස්ටර්ගේ කලායතනයට එන අලුතින් එන ‘හංසි’ එහෙමත් නැත්නම් මධාරා සෙව්වන්දි සමග කතා කරන්නයි මෙවර ‘සාරවිට’ අපගේ සූදානම.

කලා ක්ෂේත්‍රයට ඔබ අලුත් මුහුණක් නේද?

ඔව්, ‘නාඩගම්කාරයෝ’ කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍යය රංගනය. එහි මම ‘හංසි’ කියන චරිතය නිරූපණය කරනවා. ‘හංසි’ කියන්නේ මාස්ටර්ගේ කලායතනයට සම්බන්ධ වෙන අලුත් ගැහැණු ළමයා.

‘හංසි’ට ලැබෙන ප්‍රතිචාර එහෙම කෙහොමද?

ටෙලි නාට්‍යයට අලුත් චරිතයක් නිසා ගොඩක් අය මාව තවම අඳුනන්නේ නැ ලෙකුවට. ඒත්, අඳුනගත්තු අයගෙන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබගේ වෘත්තියද මේක?

නැහැ. දැනට මම මනෝ වෛද්‍ය උපදේශකවරියක් විදිහට වැඩ කරනවා. රැකියාව කරන අතරතුර තමයි කලා කටයුතුවලට දායක වෙන්නේ.

‘නාඩගම්කාරයෝ’ හැරෙන්නට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?

ගොඩක්ම වෙළෙඳ දැන්විම්වලට තමයි පෙනි හිටියේ. ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කළින් ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, අධ්‍යාපන කටයුතුවලට යොමුවෙලා හිටිය නිසා ඒවා භාරගන්න බැරිවුණා. දැන් අධ්‍යාපන කටයුතු ඉවරයි. ඒ හින්දා තමයි ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරන්න ගත්තේ.

රංගනය කියන දේ හැදැරිම අතවශ්‍ය දෙයක් නේද?

ඇත්තටම ඔව්, මමත් මහේන්ද්‍ර පෙරේරා සර් ගාව රංගනය ගැන ඉගෙන ගත්තා. එහෙම ඉගෙන තමයි රඟපාන්න ආවේ. රඟපාන්න මගේ ආසාවක් තිබුණේ නැහැ ඇත්තටම. පොඩි කාලේ ඉඳලාම මගේ හිනේ වුණේ දැන් මම කරන වෘත්තියට යොමු වෙන්න. කොහෙම හරි අහම්බෙන් අද මම කලාව පැත්තටත් යොමු වෙලා ඉන්නවා.

මධාරා ඔබ ගැනත් විස්තර ටිකක් කියමු?

මම ගැන කිව්වොත් අහිසංක, ටිකක් විතර දඟ ගැණු ළමයෙක් කිව්වොත් හරි. ඒ වගේම මම පොඩි අයට ගොඩක් කැමැති කෙනෙක්. කොටින්ම ජිවිතේ ගැන තවමත් ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්. දැනට මම පරිවාසේ මනෝ උපදේශිකාවක් විදිහට වැඩ කරනවා. මගේ වයස අවුරුදු 24යි. ගාල්ල රිපන් බාලිකාවේ තමයි මම අධ්‍යාපනය ලැබු‍වේ. මට අම්මා, තාත්තා වගේම මල්ලි කෙනෙකුත් ඉන්නවා.

රැකියාවේ වගකිම් එක්ක කලා නිර්මාණවලට කාලය හොයාගන්නේ කොහොමද?

ඇත්තටම ඒ නිසාම තමයි මම ගොඩක් නිර්මාණ බාරගන්නේ නැත්තේ. දැනට මම ‘නාඩගම්කාරයෝ’ එක්ක විතරයි වැඩ කරන්නෙත්. මොන දේ කළත් මම මගේ රැකියාවට තමයි මුලීකත්වය දෙන්නේ.

බුද්ධික සේනාධිර