මොනාලිසා චිත්‍රපටයෙන් පස්සේ අළුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල තිරගත වන මොනාලිසා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ නවක රංගන ශිල්පිනියක් වන මදුෂානි වික්‍රමසිංහයි. ඇය චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති අතර ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකින් දැකගන්නට ලැබේ. මොනාලිසා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර සහ ඇගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව දැනගැනීමට සාරවිට අපි ඇය සමග සාකච්ඡා කළෙමු.

මදුෂානි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මගේ අළුත්ම චිත්‍රපටය වන මොනාලිසා තිරගත කිරීම් ආරම්භ වෙලා තිබෙනවා. එහි වැඩකටයුතු සමගයි මේ දවස්වල කාලය ගත වෙන්නේ. ඒ වගේම මගේ ව්‍යාපාරික කටයුතුත් කරගෙන ඉන්නවා.

චිත්‍රපටයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මොනාලිසා චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ මම. ඒ කල්පනා කියන චරිතය. මුලින්ම කියන්න ඕනේ මේ චරිතය මම කලින් රඟපෑ හැම චරිතයකටම වඩා වෙනස් චරිතයක්. මම මීට කලින් රඟපෑ වානිජ මට්ටමේ නිර්මාණවලින් එහාට ගිය කලාත්මක ධාරාවේ යන ටිකක් බර චරිතයක් තමයි මම මොනාලිසා චිත්‍රපටයේ කල්පනා කියන්නේ. මාව මේ චරිතයට තෝරාගත්තු එකට එහි අධ්‍යක්ෂ එරංග සේනාරත්න මහතාට ස්තූතියිවන්ත වෙනවා. චිත්‍රපටය නරඹපු පිරිසගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියා හරහාත්, දුරකතන ඇමතුම් හරහාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම පාරේ යද්දිත් මිනිස්සු ඒ ගැන කතා කරනවා. ඒ ප්‍රතිචාර එක්ක මම මේ චරිතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතනවා. ඒ වගේම වානිජ ධාරාවෙන් එළියට ගිය නිර්මාණයක් විදිහටත් විචාරකයන්ගේ ධනාත්මක අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මට ඒ ගැන සතුටුයි.

වානිජ ධාරාවේ චරිතවල රඟපාලා කලාත්මක චරිතයකට එද්දි ඒ වෙනස දැණුනේ කොහොමද?

ඇත්තටම මම ආසාවෙන් හිටියේ කලාත්මක නිර්මාණයක රඟපාන්න. එතකොට මට පිටපත ලැබුණාට පස්සේ මම මුලින්ම සතුටු වුණේ චිත්‍රපටයේ නමට. මොනාලිසා කියන නම ලෝකයක් දන්න, ලෝකයක් ආදරය කරන ඓතිහාසික නමක්. පිටපත කියවලා බලද්දි එහි අන්තර්ගතයට මම ගොඩක් ආසා වුණා. මෑත කාලයේ සිනමා ඉතිහාසයේ වුණු ලොකු වෙනසක් මොනාලිසා චිත්‍රපටයේ තිබෙනවා. රූගත කිරීමේදී පවා අපි තිබුණු ෆෝමැට් කඩලා අළුත් ෆෝමැට් එකක වැඩ කළේ. ඒ වගේම චිත්‍රපටයේ වෙනත් අනුශාංගික කාරණා මෙතෙක් සිනමාවේ නොදැක්ක වෙනස් ආකාරයකට නිර්මාණය කරලා තියෙන්නේ.

මම ගොඩක් වෙලාවට රඟපාලා තියෙන්නේ ධනපති පන්තියේ තරුණියගේ චරිත. මම මොනාලිසා චිත්‍රපටයේ රඟපාන්නේ මැදවච්චියෙන් කොළඹඨ එන බොහොම අසරණ ගැහැණු ළමයෙකුගේ චරිතයක්. අන් සරණක් නැතිකම නිසාම ඇය අසම්මත පෙමකට පැටලෙනවා. ඒ වගේම ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. කල්පනා කියන්නේ මගේ ජීවිතයට වඩා වෙනස් චරිතයක් නිසා මට මේ චරිතය ගැන අධ්‍යනයක් කරන්න වුණා. මම හිතන්නේ මාසෙක විතර කාලයක් ඒ ගැන අධ්‍යනය කළා. ඊටපස්සේ තමයි මම චරිතය රඟපාන්නේ.

රූගත කිරීමේදී ලැබුණු සහයෝගය මොන වගේද?

ඒ ගැන ඇත්තටම කතා කරන්න ඕනේ. මොනාලිසා චිත්‍රපටය ගැන අද මිනිස්සු කතා කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ තේ හදන අන්කල්ගේ ඉඳලා අධ්‍යක්ෂවරයා දක්වා ඉන්න හැමෝගේම මහන්සිය නිසා. තිරයෙන් අපිව දැකලා අපි ගැන කතා කළාට තිරය පිටුපස ඉන්නවා විශාල පිරිසක්. හැම නිර්මාණයකම එහෙමයි. අංගරචනා ශිල්පීන්, සහය අධ්‍යක්ෂවරු, කැමරා ශිල්පීන්, කැමරා යුනිට්, කලා අධ්‍යක්ෂවරු ඇතුළු හැමෝගේම සහය ලැබුණා මේ චිත්‍රපටයට සහ මගේ චරිතය ගොඩනඟාගන්න. මේ චිත්‍රපටය අපේ වචනයෙන් කිව්වොත් කට්ට කාලා කරපු වැඩක්. රේල් පාරවල, කෝච්චි ස්ටේෂන්වල, කර්කෂ පරිසරවල තමයි චිත්‍රපටය රූගත කළේ. ඒවත් එක්ක අපේ කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා මගේ චරිතය වෙනුවෙන්.

ඒ වගේම මොනාලිසා අධ්‍යක්ෂවරයා අපිට ලොකු නිදහසක් දීලා තිබුණා චරිතය හදාගන්න. ඔහු මාර්ගෝපදේශන කිහිපයක් දුන්නා අපිට අවශ්‍ය විදිහට මගේ චරිතය නිරූපනය කරන්න. ඒ වගේම මගේ පෙම්වතා විදිහට රඟපාන්නේ අමිල කරුණානායක අයියා. ඔහු මට වඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. සුලෝචනා වීරසිංහ අක්කා, බුද්ධික ජයරත්න අයියා, සුසංඟ කහඳවල අයියා මට ලොකු සහයෝගයක් දුන්නා.

ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් නිර්මාණ මොනවාද?

ඉස්සරහට මගේ වැඩ කිහිපයක් එන්න තියෙනවා. ආදරෙයි ජානු, කතුරු මිතුරු, හිතුමතේ ජීවිතේ යන චිත්‍රපට ඉස්සරහට තිරගත වෙන්න නියමිතයි. ඒත් එක්කම මොනාලිසා චිත්‍රපටයෙන් පස්සේ මට අළුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒවා කලාත්මක මට්ටමේ නිර්මාණ. ඒවත් එක්ක ඉස්සරහට කාලය ගත වෙයි.

ඉදිරි වැඩකටයුතු ගැනත් කිව්වොත්?

මම ව්‍යාපාර ක්ෂේත්‍රයටත් සම්බන්ධයි. මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නත්, සිනමා නිළියක් විදිහට මගේ දියුණුවත්, මගේ උපාධියේ වැඩ ඉවර කරගන්නත් තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව.

සාකච්ඡා - කැළුම් දේවින්ද