මම ආසයි මම කරන දෙයක් තවත් කෙනෙක් ෆලෝ කරනවාට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක නිරූපණ ශිල්පිනියක් වන විෂූ concept shoot හරහා නිරූපණය තුළ කතාබහට ලක්වුණු ශිල්පිනියක්. ඇය හැමවිටම වෙනස් ආකාරයක වැඩ කරන්න කැමති කෙනෙක්. අනාගතයේදී තමන්ගේ නම සන්නාමයක් බවට පත් කරන හීනයක් විෂූට තිබෙනවා. ඉතින් සාරවිට අපි ඇය සමග පිළිසඳරක යෙදුණා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම විෂූ ශනුකි. අම්මයි තාත්තයි කලාවට සම්බන්ධයි. මගේ පවුලේ ඉන්නේ මල්ලිලා දෙන්නයි නංගියි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. ඒ වගේම නිරූපණයයි විලාසිතා නිර්මාණකරණයයි ඉගෙනගන්නවා.

විෂූ නිරූපණයට එකතු වෙලා කොච්චර කල්ද?

මම නිරූපණයට ඇවිත් ලොකු කාලයක් නැහැ. අවුරුදු දෙකකට කිට්ටුයි.

නිරූපණයට එන්නේ පවුලෙන් ලැබුණු කලා පසුබිම නිසාද?

විශේෂයෙන් ගෙදරින් ලැබෙන කලා පසුබිමක් නිසා නෙවෙයි. අපි නැඹුරු වෙන පැත්තක් තියෙනවානේ. මම ජීව විද්‍යාව උසස් පෙළට කරලා කැම්පස් තේරිලා ඉන්න කෙනෙක්. නමුත් මම කැමති කලාවට. අවුරුදු ගාණක් එක දිගට ඉගෙනගත්තට මම ආසයි නිදහසේ කලාව ඇතුළේ වැඩ කරන්න.

නිරූපණයෙන් දායක වුණු නිර්මාණ මොනවාද?

මම ඉගෙනගන්න ගමන් තමයි වැඩ කරන්නේ. ඒකත් එක්ක මම තවම නිරූපණයත් හදාරමින් යන නිසා හෙමීට තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට බ්‍රයිඩ්ල් වැඩවලට තමයි ආරාධනා ලැබෙන්නේ. ඒ හැරෙන්න කැෂුවල් ෂූට්, කන්සෙප්ට් ෂූට් කරනවා.

වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා කිහිපයක් ඇවිත් තිබෙනවා. නමුත් දැනට නම් කිසිදෙයකට සම්බන්ධ වෙලා නැහැ. මේ වසංගත තත්ත්වයත් එක්ක ඒවා ටිකක් කල් දාලා ඉස්සරහට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.

ඔබ පැජන්ට්වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවාද?

මම පැජන්ට් කියන දේට කැමතිම නැහැ. ඒක තනිකරම බොරුවක්. පැජන්ට් කියන්නේ මුලාවක් කියලායි මම දකින්නේ.

ඔබ වෙනස් වෙනස් කන්සෙප්ට්වලට දායක වෙනවා. ඇයි කන්සෙප්ට්වලට එච්චරම කැමති?

ඔව්. ඒ ගොඩක් කන්සෙප්ට් මගේම ඒවා. ඉස්සරහටත් මම කරපු ගොඩක් ඒවා එන්න තියෙනවා. මේ දවස්වල එක දිගටම කන්සෙප්ට් ෂූට් දකිනවානේ. ඒ අතර වෙනස්ම දෙයක් කළාම මිනිස්සු ඒක ෆලෝ කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි මම කරපු පුද්ගලයෙකුගේ ඇතුළාන්තය පිළිබිඹු කරන ෂූට් එක. ඒක මුලින්ම දකින කෙනෙක්ට හිතෙන්නේ ඒක Halloween කියලා. නමුත් ඒක Halloween නෙවෙයි. මම ඒකේ වෙනමම දෙයක් කියලා තිබෙනවා. ඊටපස්සේ ඒ මේකප් එක ගොඩක් අය කොපි කරලා තිබෙනවා මම දැක්කා. ඒ කන්සෙප්ට් එකට ගොඩක් අය ඊටපස්සේ කරලා තිබුණා. ඉතින් මම ආසයි මම කරන දෙයක් තවත් කෙනෙක් ෆලෝ කරනවා නම්. ඒ නිසා නෝමල් ෂූට්වලට වඩා ඇත්තටම මම ආසයි කන්සෙප්ට් ෂූට් කරන්න.

පුද්ගලයෙකුගේ ඇතුළාන්තයේ තිබෙන හැඟීම් ෆොටෝෂූට් එකක් තුළින් පෙන්වන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

ඔව් පුළුවන්. මම මගේ ෂූට් එක ගත්තොත් ඒකෙදි මම භාවිතා කළේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ඇතුළාන්තයේ තිබෙන හොඳ සහ නරක. ඒක හැම කෙනෙකුටම පොදුයි. අපි කොච්චර හොඳයි කියන මනුස්සයෙකුගේත් නරක පැත්තක් තියෙනවා. අපි නරකයි කියන කෙනෙක්ගෙත් හොඳක් තිබෙනවා.

නිදහස් වෙලාවට මොනවාද කරන්නේ?

මම ෆොටෝග්‍රැෆි, මොඩ්ලින්, ෆැෂන් ඩිසයිනින් ඉගෙනගන්නවා. ඒවා ගොඩක් ලොකු දේවල් නෙවෙයි වුණත් මම ඒ ගැඹුරින් හදාරනවා. මගේ පෙම්වතා තමයි මට ෆොටෝග්‍රැෆි කියලා දෙන්නේ. මට නිදහස් වෙලාවට මම ඒ දේවල් හදාරනවා.

ලංකාවේ ඉන්න බොහෝ නිරූපණ ශිල්පිනියන්ගෙන් කොණ්ඩය දිගයි. නමුත් ඔබට තියෙන්නේ කොට කොණ්ඩයක්. නිරූපණයේදී දිගු කොණ්ඩයක් වැදගත් නැද්ද?

මගේ කොණ්ඩේ කොහොමත් කොටයි. මම මොඩ්ලින් නෙවෙයි මොනවා කළත් සාමාන්‍ය ජීවිතයේදී මම අනිත් අයට වඩා වෙනස්. මම ආස නැහැ ලොකු මේකප් එකක් දාගෙන මම මොඩ්ලින් කරන්නේ කියලා ලෝකයට පෙන්නන්න. මගේ කොණ්ඩේ හැමවෙලාවේම මගේ මූණට ගැලපෙන විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා මගේ කොණ්ඩේ මේ ගානටම තමයි පවත්වාගෙන යන්නේ. ඊටවැඩිය දිග කරන්නෙත් නැහැ ඊට වැඩිය කොට කරන්නෙත් නැහැ.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

මට ගෙදරින් කිසිම ගැටළුවක් නැහැ. මම ෆීල්ඩ් එකට එන්නෙත් එයාලා නිසා. මගේ පෙම්වතා තමයි මාත් එක්ක මගේ වැඩවලට එන්නේ. ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල නම් ටිකක් පරිස්සමින් වැඩ කරගෙන යනවා. ලොකු ලොකු බලාපොරොත්තු නම් නැහැ. හැබැයි මගේ නම බ්‍රෑන්ඩ් එකක් කරලා තමයි මම නවතින්නේ.

උදව් කරපු අය ගැන කියමු?

මගේ පවුලේ අයයි, මගේ පෙම්වතයි, එයාගේ පවුලේ අයයි තමයි මට උදව් කරන්නේ. එයාලාව ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද