මම මේවා කරන්නේ විනෝදංශයක් විදිහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර සාරවිට තරු කතා බහට අප නවක නිරූපණ ශිල්පිණියකට ඇරයුම් කළා. ඇය නමින් විෂූ දිසානායක. ක්ෂේත්‍රයට නවකයෙක් වූවද විෂු මේ වනවිටත් කලා නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දී තිබිම විශේෂත්වයක්. කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න උත්සාහ කරන ඇය සිය කතාව අපට මෙසේ පැවසුවා.

විෂූ කියන්නේ කවුද?

ගොඩ දෙනෙක් මාව දන්නේ නිරූපණ ශිල්පිණියක් විදිහට. ඒත්, මම රංගන ශිල්පිණියක් විදිහටත් අද වෙන කොට කටයුතු කරනවා. හැබැයි මම කියන්න ඕනා කලා ක්ෂේත්‍රයට මම තාමත් අලුත් කෙනෙක්. කොටින්ම කියනවා නම් පළමු පියවරේ ඉන්න කෙනෙක්. ඉතින් ගොඩක් ආසාවෙන් ඉන්නවා මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ලොකු ගමනක් යන්න.

ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වුණේ?

2019 වසරේදී. නමුත්, කොවිඩ් වසංගත තත්ත්වය ආවා එතකොට. ලොකුවට වැඩ කළේ නැහැ ඉතින් ඒ කාලේ. මෑතකදී තමයි ආයේ වැඩ කරන්න මම පටන් ගත්තේ.

කලා ක්ෂේත්‍රය ගැන විෂුගේ අදහස මොකක්ද?

දක්ෂතාවය, උත්සාහය හා කැපවීම තියෙනවා නම් මේ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම අන්‍යන්ට ගරු කිරීම ගොඩක්ම වැදගත්. හැමෝගේම සහයෝගය මැද මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

දැනට ඔබ දායක වෙලා තියෙන කලා නිර්මාණ මොනවද?

ගොඩක්ම දැනට කරලා තියෙන්නේ පොටෝ ෂුට් තමා. ඊට අමතරව ගීත රූප රචනා තුනකට දායක වෙලා තියෙනවා. මේ දිනවලත් ඒවා මිනිස්සු අහනවා බලනවා. තව සුප්‍රිමි රූපවාහිනි නාළිකාව වෙනුවෙන් කරපු වෙළඳ දැන්වීමකට දායක වුණා. මම දායක වුණ කලා නිර්මාණ කිහිපයක්ම ඉදිරියට තව එන්න තියෙනවා.

නිරූපණය, රංගනය කියන්නේ විෂුගේ වෘත්තියද?

නැහැ. මේවා මම කරන්නේ විනෝදංශයක් විදිහට. මම ව්‍යාපාරයක් කරනවා. ඒකට තමයි මුල්තැන දීලා තියෙන්නේ. ගොඩක් වෙලාවට කාලය කළමණාකරණය කරගෙන මේ හැම වැඩක්ම සමබරව කරගෙන යනවා.

ක්ෂේත්‍රය ගැන විවිධ කතා තියෙනවා නේද?

ඔව්, සමහර අය විවිධ කෝණවලින් මේ ක්ෂේත්‍රය දිහා බලනවා. අපි හොඳ නම් කවුරු මොන කෝණයෙන් මේ ක්ෂේත්‍රය දිහා බැලුවත් මට නම් කමක් නැහැ.

ක්ෂේත්‍රය තුළ රැඳි සිටින්න නම් ඒ පිළිබඳව හැදෑරිමක් අවශයි නේද?

ඔව් අනිවාර්යයෙන්ම හැදෑරිමක් අවශ්‍යයි. ගොඩක් දේවල් මේ ක්ෂේත්‍ර තුළ ඉගෙන ගන්න තියෙනවා. කොටින්ම කියනවා නම් අද කරලා හෙට ඉවර කරගන්න බැහැ. හැම දවසකම අලුත් දෙයක් තියෙනවා මේ ක්ෂේත්‍රවල ඉගෙන ගන්න.

උදව් කරපු පිරිසකුත් ඇති විෂුට?

ගොඩක් ඉන්නවා. ඒත්, විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ පවුලේ කට්ටියයි මගේ යාළුවෝ ටිකයි. ඒ අය හැමදාම මගේ ළඟින් ඉන්නවා. මාව දිරිගන්වනවා.

බුද්ධික සේනාධීර
ඡායාරූප - නවීන් අලුත්ගේ