මම රඟපාන රනුල්‍යා කියන චරිතය මේ දවස්වල ජනප්‍රියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනූ හංසි ගමගේ සාරවිට තරු කතා බහට මෙසේ එක් විය. මේ දිනවල විකාශය වෙන 'කියාදෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයේ රනුල්‍යා ලෙස රංගනයෙන් දායක වෙන හංසි ඉදිරියේදී තවත් කලා නිර්මාණ බොහෝමයකින් ඔබ හමුවිමට සූදානමින් සිටියි.

හංසි කියන්නේ කවුද?

හංසි කියන්නේ වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක්. හැබැයි තාම මේ ක්ෂේත්‍රයට මම අලුත් කෙනෙක්. රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න තමයි මගේ  බලාපොරොත්තුව ඉතින්.

ඔබට රඟපාන්න පුළුවන්ද?

ඔව්, මට රඟපාන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයට ආවේ පුංචි හෝ දැනුමක් ඇතිව. දැනුමක් හා හැදැරිමක් නැතුවම නම් කෙනෙක්ට මේ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් යන්න බැහැ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මගේ තියෙන දක්ෂතාවය නිසා තමයි අදටත් මම මේ ක්ෂේත්‍රය තුළ රැඳලා ඉන්නේ.

හංසි රංගනයෙන් දායක වුණ ටෙලි නිර්මාණ මොනවද?

මම දැනට රඟපාලා තියෙන චරිතත් එක්ක ගත්තොත් 'අසංවර වැස්ස' ටෙලි නාට්‍යයේ ඇන්ගේ චරිතය තමයි ගොඩක්ම ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණේ. නමුත්, මේ දිනවල සිරසේ විකාශය වෙන 'කියාදෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයේ රනුල්‍යා කියන චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා. මොකද, ඒ චරිතයට අද වෙන කොට ලැබෙන රසික ප්‍රතිචාර ඉතාමත් ඉහළ නිසා. ඊට අමතරව මිල්ලැව වළව්ව හා සොමිබර ජරමර කියන ටෙලි නාට්‍යවල මා කරපු චරිතත් ප්‍රේක්ෂකයන්ගේ සිත්ගත් චරිත වුණා.

ක්ෂේත්‍රයට අලුත් නිසාද තවමත් සහය චරිත ලැබෙන්නේ?

රඟපාන්න ආපු මුල් කාලේ නම් මම ගොඩක්ම කළේ සහය චරිත. මේ වනවිට සිරසේ යන %ආදරේ කියාදෙන්න තරම්^ ටෙලි නාට්‍යයේ රනුල්‍යා කියන චරිතය මට යමක් කරන්න පුළුවන් චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ඒක ඒ නාට්‍යයේ එන ප්‍රධාන චරිත අතරින් එකක් කිව්වොත් හරි. ඒ වගේම ප්‍රේක්ෂයෝ ගොඩක් කතා කරන චරිතයක් බවටත් අද රනුල්‍යා කියන චරිතය පත් වෙලා තියෙනවා.
 
ටෙලි චරිත ලබාදෙද්දි විවිධ පුද්ගලයන්ගෙන් අයුතු යෝජනා ලැබෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

ඔව් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඕනෑම කෙනෙකුට අයුතු යෝජනා එන්න පුළුවන්. මටත් පෞද්ගලිකව මගේ ජීවිතේ ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. නමුත්, මම අද ගොඩක් සතුටු වෙනවා ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා මම මගේ දක්ෂතා පෙන්වලා මේ තැනට ආපු එක ගැන. මේ ක්ෂේත්‍රය තුළ පමණක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක ඉහළට යන්න ඔය වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. ඒත්, අයුතු යෝජනාවලට කැමති වෙලා අවස්ථාවක් ගන්නවට වඩා තමන්ගේ දක්ෂතාවය උදව් කරගෙන තමන්ගේ ගමන යන එක තමයි ගොඩක්ම වටින්නේ කියලායි මගේ නම් අදහස. කොටින්ම කියනවා නම් දක්ෂතවයෙන් ඉදිරියට යන කෙනාට පැවැත්මක් තියෙනවා. ලේසි ක්‍රමවලින් යන අයට පැවැත්මක් නැහැ.

එහෙම දේවල් වෙද්දි මේ ක්ෂේත්‍රය ගැන කලකිරිමක් ඇති වෙලා නැද්ද?

ඇත්තටම කලකිරිමක් ඇතිවෙලා තියෙනවා ක්ෂේත්‍රය අමතක කරන්න තරම්ම. නමුත්, මම මේ ක්ෂේත්‍රයට තියෙන ආදරේ නිසාම අදටත් මම මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නවා. හේතුව මම කැමැතියි මේ ක්ෂේත්‍රයට අලුත්ම දෙයක් මගෙන් තිළිණ කරන්න.
 
පවුලේ අය හංසි කලාවට සම්බන්ධ වුණාට කැමතිද?

මේ ක්ෂේත්‍රයට එන කොට නම් මගේ පවුලේ අය කැමති වුණේ නැහැ. මොකද, ඒ අයට පැහැදිමක් තිබුණේ නැහැ මේ ක්ෂේත්‍රය ගැන. නමුත්, දැන් මම කරන චරිත හ ඒවාට ලැබෙන ප්‍රතිචාර මත මගේ පවුලේ අය මගේ දක්ෂතා ගැන ආඩම්බර වෙනවා. ඉතින් දැන් නම් මගේ පවුලේ අය මටත් වඩා කැමතියි මම රඟපානවට.
 

ඔබට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ තරුණයන්ගෙන්ද එහෙමත් නැත්නම් තරුණියන්ගෙන්ද?

මට වැඩිපුර රසික ප්‍රතිචාර ලැබෙන්නේ තරුණයන්ගෙන්.

විශාල මුදලක් දුන්නොත් ඔබ ඕනෑම විදිහේ චරිතයක් භාරගන්න සූදනම්ද?

මෙහෙමයි ලොකු මුදලකින් අදහස් වෙන්නේ එක්කෝ නිරුවත් චරිතයක් නැත්නම් අඩ නිරුවත් චරිතයක් රඟපාන්නනේ. ඇත්තටම මම ඒවගේ දේවල් හෙළා දකිනවා. ඒ වගේම තමයි මම ඒ වගේ දේවල් භාරගන්න කැමති නැහැ කොපමණ ලොකු මුදලක් දුන්නත්.

ඡායාරූප හා සටහන - බුද්ධික සේනාධීර