මියුසික් වීඩියෝ එකකදි නම් මම ගොඩක්ම කොට ඇඳුම් අඳින්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන රුචිකා මේ වනවිට නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දී තිබේ. විශේෂයෙන් වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා තුළ ඇය ජනප්‍රියත්වයට පත් වී තිබේ. රුචිකාගේ කලාව සහ ජීවිතය පැත්තෙන් ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට සාරවිට කතාබහකට රුචිකාව සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම රුචිකා හර්ෂනී. මගේ පදිංචිය කඩවත. නිරූපණය තුළ සහ රංගනය තුළ නිරත වෙනවා. කලින් නම් පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. නමුත් දැන් නම් එයින් ඉවත් වෙලා ඉන්නේ.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම ක්ෂේත්‍රයට එන්නේ 2014දි. මම හඳුනන අක්කා කෙනෙක් හරහා නාට්‍ය සර් කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි එන්නේ. මුලින්ම සමබන්ධ වුණේ වෙළඳ දැන්වීමකට. ඊටපස්සේ මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න හැකි වුණා. ඊටපස්සේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලින් ඇතිවුණු සම්බන්ධතා මත වැඩවලට ආරාධනා ලැබුණා. මම වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්, බ්‍රයිඩ්ල් ෂූට් තමයි නිරූපණයෙන් කරන්නේ.

මේ වෙද්දි මියුසික් වීඩියෝ කොපමණ ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තිබෙනවාද?

මියුසික් වීඩියෝ නම් පහළොවකට විතර දායක වෙලා තිබෙනවා. පපුවට හුරු නැති ආදරේ ගීතය බොහෝ දෙනෙක් නරඹා තිබුණා. ඒ වගේම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතාගේ ගීතයකටත් දායක වුණා. එතකොට රකිතගේ දම්පාට හැන්දෑවේ ගීතයේ දෙවෙනි කොටසට සම්බන්ධ වුණා.

රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්?

දංකුඩ බණ්ඩා, පාලි, මායා රාජිනී, නෝ පාර්කින්, කොළඹ අපි ආවා ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකටම සම්බන්ධ වුණා. 

ඔබට සමාජ මාධ්‍යයෙන් නිර්මාණවලට ආරාධනා ලැබුණා කිව්වා. නිරූපිකාවකට සමාජ මාධ්‍ය කෙතරම් වැදගත්ද?

අපි සමාජ මාධ්‍ය හොඳට පාවිච්චි කළොත් අපිට කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. ෆේස්බුක් හරහා ලැබෙන සමහර ආරාධනා ගැන හොයලා බැලුවේ නැත්නම් මම අමාරුවේ වැටෙන්නත් ඉඩ තිබුණා. සමාජ මාධ්‍ය තුළ හැසිරෙන්න මොලය පාවිච්චි කරන්න ඕනේ.

ඔබ නිර්මාණයක් තෝරා ගැනීමේදී සලකා බලන්නේ මොනවාද?

මියුසික් වීඩියෝ එකකදි නම් මම ගොඩක්ම කොට ඇඳුම් අඳින්නේ නැහැ. ටෙලි නාට්‍යවලට නම් එහෙම ගැටළු එනවා අඩුයි. ලැබෙන චරිතය ගැනත් විශේෂයෙන් සලකා බලනවා. මට නොගැලපෙන චරිත භාර ගන්නේ නැහැ.

ඔබ රඟ පෑ චරිතවලින් හිතට දැණුනු චරිතය මොකද්ද?

ස්වර්ණවාහිනියේ විකාශය වුණු පාලි නාට්‍යයේ මම නෙළුම් කියන චරිතයට රංගනයෙන් දායක වුණා. නෙළුම් කියන්නේ උප ප්‍රධාන චරිතයක්. ඒක තමයි මම කැමතිම චරිතය. ඒ වගේම ප්‍රවීණයන් සමග වැඩ කරන්න ඉඩ ලැබුණා. ගොඩක් දේවල් ඉගෙනගන්න අවස්ථාව ලැබුණා පාලි නාට්‍ය හරහා.

නෙළුම්ට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

හොඳයි. හැමතැනින්ම හොඳ ප්‍රතිචාර ලැබුණේ. ඒක හොල්මන් වගේ භයංකාර නාට්‍යයක්. සති අන්තයේදී තමයි විකාශ වුණේ. දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයටත් මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. නෝ පාර්කින් නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මුලදී ගෙදරින් අකමැති වුණා. මොකද ෆීල්ඩ් එක ගැන ඇහෙන දකින කතා නිසා එයාලා බය වුණා මං ගැන. ගොඩාක් කල් යනකල් අම්මා මාත් එක්ක හැමතැනටම ගියා. ඊටපස්සේ කට්ටියව හඳුනාගත්තාට පස්සේ ලොකු ගැටළුවක් වුණේ නැහැ. දැන් ගොඩක් ලොකු සහයෝගයක් ලබාදෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ටෙලි නාට්‍ය කිහිපයකට කතා කරලා තිබෙන්නේ. නමුත් කොරොනා තත්ත්වය නිසා ඒවා යට ගිහිල්ලා තියෙන්නේ. දැනට නම් කිසිම වැඩක් භාරගෙන නැහැ. මම ඉදිරියේදී විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ නිසා ඒ වැඩ කටයුතුවලට මේ දවස්වල කාලය වැය කරනවා. විවාහයෙන් පසුව විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඒ කියන්නේ විවාහයෙන් පසුව කලාවෙනුත් ඈත් වෙනවාද?

බොහෝ දුරට නැතිවෙයි. සමහරවිට ඉදිරි අවුරුද්ද ඇතුළත මට කරන්න පුළුවන් තරමක් මම නිර්මාණවලට දායක වෙනවා. විදෙස් ගත වුණොත් ආයෙත් කලාව තුළින් දකින්න ලැබෙන එකක් නම් නැහැ.

උදව් කළ අය ගැන කිව්වොත්?

මුලින්ම මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. ඒ වගේම ඉනෝකා අක්කා, අජිත් අයියා, තිලක් මාමා, සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂතුමාවත් මතක් කරනවා. ඒ වගේම නම් වශයෙන් කියාගන්න බැරි තරම් පිරිසක් මට උදව් කරලා තියෙනවා. ඒ හැමදෙනාටමත් මම ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද