මාව හැමෝම දන්නේ බෙලි ඩාන්සර් කෙනෙක් විදිහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනිති අයෝධ්‍යා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් සහ නර්තන ගුරුවරියක්. ඇය Dance Cover හරහා අතිශයින් ජනප්‍රිය වූවා. දිනිති නිරත වන නර්තන ශෛලිය ලංකාවට මදක් අලුත්. ඉතින් දිනිති සමග සාරවිට කතාබහක අප නිරත වුණා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම දිනිති අයෝධ්‍යා සේනාධීර. මගේ පදිංචිය හෝමාගම. මම වෘත්තීයෙන් නර්තන ශිල්පිනියක්.

ඔබේ නර්තන ගමන ආරම්භ වෙන්නේ කොහොමද?

මම පොඩි කාලේ ඉඳලාම ඩාන්සින් කළා. මගේ මුල්ම ගුරුවරිය වන චමිලා වික්‍රමසිංහ (උමා) මිස් යටතේ නර්තනය හැදෑරුවා. ඊටපස්සේ මම පාසලේත් නර්තනය හැදෑරුවා. මම 2016 වසරේදී අයිටීඑන් අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත් වෙනවා. ඒ හරහා වෙළඳ දැන්වීම් කිහිපයකටම දායක වෙන්න අවස්ථාවන් ලැබෙනවා. ඒ වගේම ඒ අවුරුද්දේදීම මම යූත් ගොට් ටැලන්ට් තරඟාවලියටත් සම්බන්ධ වෙනවා. එහිදී මගේ එක් ඩාන්සින් වීඩියෝවක් ගොඩක්ම වයිරල් වෙනවා. එතනින් බොහෝ දෙනෙක් මාව හඳුනාගන්නවා. ඊටපස්සේ අවුරුදු දෙකක් විතර මම ඩාන්සින් සම්පූර්ණයෙන්ම නවත්වනවා. ඒ මගේ රැකියාව නිසා. නමුත් 2019 ඉඳලා මේ වෙනකල් ආයෙත් මම ඩාන්සින් කරනවා.

දිනිති මේ වෙද්දි නර්තනය පැත්තෙන් මොනවාද කරන්නේ?

මේ වෙද්දි මම Dini Dance Academy නමින් ඩාන්සින් ක්ලාස් එකක් පවත්වාගෙන යනවා. එහි උගන්වන්නේත් මමමයි. ඒ වගේම මට ඩාන්සින් ගෲප් එකක් තිබෙනවා. මේ අවුරුද්දේ මම Dini Dance Studio  මගේ ස්ටූඩියෝ එක පටන්ගෙන තිබෙනවා. දැනට ඒවායේ උගන්වන්නේ ගැහැණු ළමයින්ට විතරයි. අගෝස්තු මාසයේ ඉඳලා පොඩි අයටත් පංති ආරම්භ කරනවා. දැනට මම පන්ති කරන්නේ මහරගම. ඉදිරියේදී ගාල්ල, මිනුවන්ගොඩ වගේ තැන්වලත් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ලංකාවේ ජනප්‍රියම නර්තන කණ්ඩායමක වෘත්තීමය නර්තන ශිල්පිනියක් ලෙස වැඩ කටයුතු කරනවා.

ඔබේ නර්තන ශෛලිය ගැන කිව්වොත්?

මම වෙස්ටන් ඩාන්සින් කරන්නේ. මම බෙලි (Belly) ඩාන්සර් කෙනෙක්. මාව හැමෝම දන්නේ බෙලි ඩාන්සර් කෙනෙක් විදිහට.

ලංකාවේ Belly Dancing කියන්නේ ජනප්‍රිය ශෛලියක් නෙවෙයි. ඔබ බෙලි ඩාන්සින් තෝරගත්තෙ ඇයි?

මම Belly Dancing ගුරුවරයෙක් යටතේ ඉගෙනගෙන නැහැ. යූ ටියුබ් වීඩියෝ බලලා තමයි මම ප්‍රගුණ කළේ. ඕනම කෙනෙක්ට උපතින් එන දක්ෂතා තිබෙනවානේ. මම හිතනවා මගේ born talent එක ඒක කියලා. මම පොඩි කාලේ ඉඳලාම ජිම්නාස්ටික කරලා තිබෙනවා. ඒක මට ගොඩක් උපකාරි වුණා. Belly Dance වලට තමන්ගේ ශරීරය ගොඩක් නම්‍යශීලී වෙන්න ඕනේ. වාසනාවකට මට ඒ දේ ලැබිලා තිබෙනවා.

ලංකාවේ Belly Dance ස්ටයිල් එක නැත්තේ ඒක හරි අමාරු ස්ටයිල් එකක් නිසා වෙන්න ඕනේ. බෙලි ඩාන්ස් කරන අය ඉන්නවා නම් ඉතාම සුළු පිරිසක් තමයි ඉන්නේ. ඒ ඇරබික් ස්ටයිල් එක සෑහෙන අමාරුයි. හැබැයි ගොඩාක් අය හරි ආසයි බෙලි ඩාන්සින් කියන දේ ඉගෙනගන්න. මගේ ක්ලාස් එකේ මම බෙලි ඩාන්සින් උගන්වනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඔව්. ගෙදරින් මට උපරිම සහයෝගය ලැබෙනවා.

ඔබේ Dance Cover කිහිපයක් අතිශය ජනප්‍රිය වුණා. ඒ ගැන සඳහන් කළොත්?

ඔව්. මම දැනට ඩාන්සින් කවර්ස් හතරක් විතර කරලා තිබෙනවා. එයින් මුලින්ම කරපු එක තමයි ඔෂාන් ලියනගේ එක්ක කරපු Ooantavaකවර් එක. ඒක ගොඩක්ම වයිරල් වුණා. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, බංගලාදේශය යන රටවල සෝෂල් මීඩියාවල සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ රටවල මේ වීඩියෝව මිලියන ගණනක් නරඹා තිබෙනවා.

ඒ ජනප්‍රියත්වයත් එක්ක තව ආරාධනා ලැබුණාද?

ඔව්. ඩාන්සින් කවර්ස් වලට සෑහෙන්න ආරාධනා ලැබුණා. ඒත් ඒ හැම එකක්ම මම බාරගන්නේ නැහැ. ආයෙත් Teevඑක්කත් මම ඩාන්සින් කවර් එකක් කළා. ඒකත් තරමක් වයිරල් ගියා.

ඔබට රංගනයට හෝ නිරූපණයට ආරාධනා ලැබිලා තිබෙනවාද.?

සෑහෙන්න ආරාධනා ලැබෙනවා. ගොඩක්ම ආරාධනා ලැබුණේ මම පාසැලෙන් අවුට් වුණු කාලේදි. ඒත් මම වෙළඳ දැන්වීම් කිහිපයකට විතරයි ගියේ. මම රංගනය පැත්තට යොමු වෙනවා අඩුයි. ඇත්තටම කිව්වොත් මම දෙබස් කියන වගේ ඒවාට හරි ලැජ්ජායි.

ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම පොඩි කාලේ ඉඳලාම ඩාන්සින් කරානේ. පොඩි කාලේ ඉඳලාම මගේ හීනය වුණෙ වෘත්තීමය ඩාන්සර් කෙනෙක් වෙන්න. හැබැයි මම නර්තන ගුරුවරියක් වෙයි කියලා හිතුවේ නැහැ.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ඔෂාන් ලියනගේ එක්ක තව ඩාන්ස් කවර් එකක් කරන්න ඉන්නවා. ඒක ඉදිරියේදී අවුට් වෙයි.

දව් කළ අය ගැන මතක් කළොත්?

මගේ අම්මා, තාත්තා, අයියා සහ නිපුන් ඇතුළු පවුලේ සියළු දෙනාවම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ වෙනකල් මට උදව් කරපු මගේ ගුරුවරු විශේෂයෙන් චමිලා වික්‍රමසිංහ මිස් සහ මගේ පාසලේ ගුරුවරිය දුෂ්‍යන්ති දේවිකා මිස්වත් මතක් කරනවා. ඒ වගේම මම දැනට වැඩ කරන sway dancers කණ්ඩායමත් මගේ යාළුවෝ හැමෝමටමත් ස්තූති කරනවා.

සාකච්ඡා - කැළුම් දේවින්ද