මහේල අයියා මගේ හැම උපන්දිනයකටම සුබපතනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වුණ චලෝ ටෙලි නාට්‍යයේ බටූගේ චරිතයට පණ දුන් පේශානි රවින්‍යා ඒකනායක අප කවරුත් ආදරය කරන යොවුන් ජනප්‍රිය රංගන ශිල්පිණියකි. විවිධ කලා කටයුතු ඔස්සේ නිරන්තරයෙන්ම දකින ඇයට අප සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා. ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ලෙස ඇළුම් කරන පේශානිට අප යොමු කළෙත් ඊට අදාල ප්‍රශ්න කිහිපයක්.

පේශානි කියන්නේ ක්‍රිකට්වලට කැමති කෙනෙක්?

ඔව් ගොඩක් කැමති කෙනෙක් කිව්වොත් හරි. ලංකාව ක්‍රීඩා කරන තරගයක් නම් මම මඟහරින්නේ නැතුව අනිවාර්යයෙන්ම බලනවා. මම දන්න කිහිප දෙනෙක්ම ඉන්නවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වර්තමානයේ ක්‍රීඩා කරන. ඉතින් ඒ හින්දා අපේ පවුල්වල හැමෝම වගේ ක්‍රිකට්වලට ගොඩක් කැමති අය. බොහෝ විට ඒක හේතුවක් වෙන්න ඇති මම ක්‍රිකට්වලට මේ තරම් කැමති වෙන්න.

පාසල් යන කාළේ ක්‍රීඩාවක් විදිහට ක්‍රිකට් ක්‍රීඩා කළාද?

නැහැ අපේ පාසලේ ක්‍රිකට් තිබුණේ නැහැ ගැහැණු ළමයින්ට. ඉතින් ක්‍රීඩාවක් විදිහට මම කළේ පාපන්දු ක්‍රීඩාව. වසර කිහිපයක්ම මම එකදිගට පාසල් පාපන්දු කණ්ඩායම් නියෝජනය කළා. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට පවා මම ක්‍රීඩා කළා. හැබැයි පාසලේ ක්‍රිකට් තිබුණේ නැති වුණත් මම ඒ පාසල් යන කාලෙත් ක්‍රිකට් සෙල්ලම් කළා යාළුවෝ එක්ක.

ඔබ කැමතිම ක්‍රිකට් කණ්ඩායම මොකක්ද?

ශ්‍රී ලංකා කණ්ඩායම තමයි මම කැමතිම ක්‍රිකට් කණ්ඩායම. මම දකින විදිහට වර්තමානයේ මේ කණ්ඩායම දිහා බැලුවොත් ඔවුන් පෙන්වන දක්ෂතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම හොඳ දක්ෂ තරුණ ක්‍රීඩකයින් පිරිසක් මේ කණ්ඩායම තුළ ඉන්නවා. අනික් දේ තමයි හැම මොහොතේම මේ කණ්ඩායම ඉතා හොඳ සමබර කණ්ඩායමක්.

පේශානිගේ මතකයේ තියෙන හොඳම ක්‍රිකට් තරගය මොකක්ද?

අමතක නොවන ක්‍රිකට් තරගය තමයි 2014 වසරේ බංග්ලාදේශයේ තිබුණ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය. ඒක අදටත් මගේ මතකයේ තියෙන ක්‍රිකට් තරගයක්. ඒ තරගයේ එක පන්දුවක් වත් මම අත්හරින්නේ නැතුව බැලුවා.

ඔබ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවද?

මහේල ජයවර්ධනට මම කැමතියි. පිතිකරුවෙක් විදිහටත් නායකයෙක් විදිහටත් මහේල අයියා ලංකාව වෙනුවෙන් ලොකු දේවල් කරලා තියෙනවා. ඔහුට පුළුවන් පිතිකරුවෙක් විදිහට ඕනෑම පීඩනයක් යටතේ තරග දිනවන්න. අනෙක් දේ තමා ඔහුගේ තියෙන උපක්‍රමශිලි නායකත්වය. ඔහුගේ නායකත්වය යටතේ අපි විශිෂ්ට ජයග්‍රහණ රැසක්ම දිනුවා. කාලයක් මම ගොඩක් ආසාවෙන් හිටියා ඔහුත් එක්ක කතා කරන්න. හැබැයි අද වෙන කොට මහේල අයියා කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඔහු අදටත් මගේ උපන්දිනයට සුබපැතුම් එවනවා. ඔහුත් දන්නවා මම අනිවාර්යයෙන්ම ඔහුගෙන් සුබපැතුමක් එනකම් බලාගෙන ඉන්නවා කියලා.

දේශිය ක්‍රිකට් පිටියේ නම් ඔබ නිතරම අපි දකිනවා?

ඔව්, දේශිය තරග නම් මම නිතරම වගේ බලන්න යනවා. අදහසක් තියෙනවා මේ පාර ඉන්දියාවේ තියෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය බලන්න යන්න. එහෙම ගියොත් විදෙස් රටක ක්‍රිකට් තරගයක් නරඹන පළමු වතාව ඒක වෙනවා මගේ.

ක්‍රිකට් ක්‍රීඩකයෝ පෞද්ගලිකව ඔබට මුණ ගැහිලා නැද්ද?

ඔව් මුණ ගැහිලා තියෙනවා. ක්‍රීඩා සම්බන්ධව මම වැඩසටහන් කිහිපයක්ම පසුගිය කාලේ ඉදිරිපත් කළා. ඉතින් ඒ වැඩසටහන්වලට ගොඩක් වෙලාවට සම්බන්ධ වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒ ඇරෙන්න ඉතින් පෞද්ගලික සම්බන්ධකමක් ඒ අයත් එක්ක මගේ නැහැ.

මෙවර ලෝක කුසලානයට ඔබ නම් කරන කණ්ඩායම කවුද?

පැතුම් නිශ්ශංක, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, සධිර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දසුන් ශානක, මහිෂ් තික්ෂණ, මතිෂ පතිරණ, දුෂ්මන්ත් චමිර තමයි මගේ එකළොස් දෙනා. සංචිතයට එකතු වෙන අනිත් අය ගත්තොත් දිමුත් කරුණාරත්න, දුනිත් වෙල්ලාගේ, කසුන් රාජිත, ළහිරු කුමාරව මම නම් කරනවා.

පේශානි නරඹන්න වැඩියෙන්ම කැමති මොන තරගද?

මම වැඩිපුරම කැමති එක්දින තරග නරඹන්න. ඊට පස්සේ විස්සයි 20 තරග. ටෙස්ට් තරග බලන්නත් කැමතියි. ඒත්, දවස් ගාණක් බලන්න වෙන නිසා මම ටෙස්ට් තරගවලට වඩා එක්දින හා විස්සයි 20 තරග බලන්න විශේෂ කැමැත්තක් දක්වනවා.

බුද්ධික සේනාධීර
ඡායාරූප - සුපුන් උදයංග