රැකියාව කරන අතරතුර තමයි මම නිරූපණය කටයුතු කරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක නිරූපණ ශිල්පිණියක් වූ දිනූ ලියනගේ සමගින් මෙවර අපි කතා බහ කළේමු. දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටින ඇය නිරූපණයට දක්වන්නේ ඉමහත් කැමැත්තකි. දැනට විවිධ කලා නිර්මාණ ඔස්සේ දකින දිනූ ඉදිරියේදී රංගනයටද එක්වීමේ බලාපොරොත්තුවකින්ද පසුවේ.

නිරූපණ ක්ෂේත්‍රයට ඔබගේ පැමිණිම සිදුවන්නේ කොහොමද?

2017 වසරේ තමයි මම ක්ෂේත්‍රයට එන්නේ.  ‘ලිය ගෝල්ඩ්’ ආයතනය මඟින් පැවති නිරූපණ තරගවලට ඉදිරිපත් වෙලා.

නිරූපිකාවක් වෙන හීනයක් තිබුණද ඔබට?

නැහැ. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබුණේ අහම්බෙන් කිව්වොත් හරි. ඒත්, දැන් නම් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම රංගනය පැත්තටත් ඉදිරියේදී යොමු වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය ගැන කිව්වොත් ඇත්තටම හොඳ ක්ෂේත්‍රයක් විදිහටයි මම දකින්නේ. මේ ක්ෂේත්‍රය තුළ විවිධ පැතිකඩ තියෙනවා. නමුත්, තමන්ට ගැළපෙන සුදුසු නිර්මාණවලට දායක වෙලා ඒ හරහා ඉදිරියට ගියොත් හොඳ පැවැත්මක් මේ ක්ෂේත්‍රය තුළ හදාගන්න පුළුවන් කියලා. කොටින්ම කියනවා නම් කරන වැඩේ හරියට කළොත් හොඳ සාර්ථක ගමනක් මේ ක්ෂේත්‍රය තුළ යන්න පුළුවන් කියල මම හිතනවා.

දායක වුණ කලා නිර්මාණ ගැනත් සඳහනක් කරමු?

ගොඩක්ම කරලා තියෙන්නේ පොටෝ ෂුට් තමයි. ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්විම්, ගීත රූප රචනා වගේම නිවේදිකාවක් විදිහට චැනල් සී ආයතනයේ වැඩසටහන් කිහිපයකට මම දැනට දායක වෙලා තියෙනවා.

නිරූපණය කියන්නේ ඔබගේ වෘත්තියද?

නැහැ, දැනට මම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රැකියාවක නිරත වෙනවා. ඒ රැකියාව කරන අතරතුර තමයි මම නිරූපණය කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ.

නිරූපිකාවන් අද මුදලට විකිණෙනවා කියන කතාව ඇත්තද? එවැනි චෝදනා ඔබටත් තියෙනවද?

ඕක නවකයන්ට අද එල්ලවෙන ප්‍රධානම චෝදනාවක් වුණත් ඒ දේවල් එල්ල වෙන්නේ තමන් කරන නිර්මාණයේ ගුණාත්මක කම මත කියලයි මම හිතන්නේ. ඒත්, හොඳ දේවල් කරලා ඉදිරියට යනවා නම් ඒ දේවල් අපිට මඟ හරින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

දිගටම මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නේද අදහස?

ඇත්තටම ඔව්, ලොකු අදහසක් තියෙනවා මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳිලා කටයුතු කරන්න. ඒ වගේම රංගනය පැත්තටත් යොමු වෙන්න පුංචි අදහසක් තියෙනවා. මොකද, නිරූපණයට සම්බන්ධ වුණාම රඟපාන්නත් ලොකු ආසාවක් ආවා.

උදව් කරපු අය?

මගේ නංගිව මතක් කරන්න ඕනා. ඇය රූපලවන්‍ය ශිල්පිණියක්. ඇය තමයි මාව නිරූපණ ශිල්පිනියක් විදිහට අද මාව තැනකට අරගෙන ආවා. මේ අවස්ථාවේදි ඇයව විශේෂයෙන්ම මතක් කරනවා.

බුද්ධික සේනාධීර