රණ්ඩුවට ආවොත් ගහන්නමයි හිත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘කෙනෙක් කිව්වා. කවුද නානායක්කාර කියලා මැණික් බිස්නස් කරපු කෙනෙක්. එයාවම කිඩ්නැප් කරගෙන  කවුද එයාගෙ  ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුට දෙන්න... ටූ මිලියන් එයාගෙම වයිෆ්ගෙන් ගත්තු කතාවක්.’’ මෙහෙම කියන්නෙ පාර දිගේ නාට්‍යයේ ‘ආන්‍යා’ ගේ චරිතය රඟපාන නෙහාරාය. ටෙලි තිරයට ආ මේ සුන්දර  ‘දේශානි නෙහාරා ’එක්ක අද අපි පිළිසඳරක යෙදෙමු. 

පාර දිගේ ‘ආන්‍යා’ වූ ඔබගේ සැබෑ නම?

දේශානි නෙහාරා.

දේශානි කියන්නද? නෙහාරා කියන්නද? 

නෙහාරා කියන්න.

කවුද මේ නෙහාරා?

හරි සරල කෙනෙක්. ජීවිතය ගැන සරලව හිතන කෙනෙක් මම සරලයි.

නෙහාරගෙ ගම?

කෑගල්ල. 

පාසල් ගියේ?

මරඳගහමුල ප්ලේටන් විද්‍යාලයට. ඊට පස්සේ උසස් පෙළ හැදෑරුවේ ගම්පහ විචර්ලි ඉන්ටර්නැෂනල් පාසලෙන්.

මොන වගේ අරමුණකින්ද ඉගෙන ගත්තෙ?

මේ ක්ෂේත්‍රයට  ඒමේ ආසාව එක්ක මට තිබුණේ ගුවන් සේවිකාවක වීමේ අරමුණ.

ඇයි රඟපෑමට එන්න එච්චරටම ආසා කළේ? 

පොඩි කාලයේ ඉඳලම ආසයි. ඒ ගැන අම්මටත් කිව්වා. අම්මගෙත් ආශාව වුණේ මම මේ ක්ෂේත්‍රයට එනවට. කුඩා කාලයේ ඉඳලාම දක්ෂතා තිබුණා. පාසලේදී නාට්‍යවලට සහ කලා අංශයේ වැඩ බොහෝමයකට දායක වුණා. නර්තනය විෂයයක් ලෙසත් සා/පෙළට හැදෑරුවා.

ගෙදර විස්තර කිව්වොත්?

තාත්තයි, අම්මයි, මායි, අක්කයි. අක්කා නම් විවාහ වෙලා. අක්කා ගුවන් සේවිකාවක්. තාත්තා ගුවන් තොටුපළ (සිවිල් ගුවන් සේවා අංශයේ) කළමනාකාරවරයෙක්.

නෙහාරට ගුවන් සේවිකාවක් වෙන්න හිතුනේ අක්කා නිසාද?

එහෙමමත් නෙවෙයි. අක්කට වුවමනාවක් තිබුණේ නැහැ. ඒකත් අපේ අම්මගේ ආසාවට ඉල්ලුම් කළේ. 

ගුවන් සේවිකාවක් වෙන්න ඇයි එච්චරටම ආස?

වෘත්තියකට එහා ගිය රැකියාවක්, සේවයක්, තෘප්තිමත් වෙන්න පුළුවන් රැකියාවක්. 

වඩා ලස්සන අක්කාද? නංගිද?

මට නම් ලස්සන අක්කා. පොඩි කාලයේ ඉඳලම මට නම් ලස්සන එයා. මට වඩා එයා සුදුයි.

එයාගේ නම?

දිල්ශානි ෂනෙල්කා.

එයා රඟපෑමට ආසා නැද්ද?

නැහැ.

කොහොමද අක්කයි-නංගියි දෙන්නටම එකම ගුවන් යානයේ සේවය කරන්න ලැබුණොත්? 

එහෙම වුණොත් ඒක හොඳ දෙයක්. ඒත් එහෙම වෙන්නෙ කලාතුරකින්. එහෙම වුණොත් දුර්ලභ අවස්ථාවක් වේවි.

‘පාර දිගේ’ යන්න හිතුවෙ ඇයි?

‘පාර දිගේ’ මට ලැබුණේ අහම්බයකින්. ජාන්වි අප්සාරි (දෝනි) නංගි නිසයි. ඒ නංගිගෙ අම්මයි -  තාත්තයි තමයි, මාව චාමර සමරවික්‍රම සර්ට යොමුකරලා මට මේ අවස්ථාව ලබා දුන්නෙ. මේ මගේ පළවැනි ටෙලිනාට්‍යය.

කොහොමද ඒ අත්දැකීම්?

ඒක හරිම සුන්දරයි. ඉගෙන ගන්න දේ බොහොමයි. මම බොහොම ආසාවෙන් එයට දායක වෙන්නෙ. චාමර සර්, සද්ධා මංගල සර් වගේම සිවගුරුනාදන් සර් ඇතුළු ඔක්කොමලා මට හරියට උදව් කරනවා.‘පාර දිගේ නාට්‍ය කණ්ඩායම ඇත්තටම හරි හොඳයි. මට ඒ ඔක්කොමලා ලබාදෙන සහයෝගය හරිම හොඳයි.

මේ ‘පාර දිගේ’ ආන්‍යා මොන වගේ කෙනෙක්ද?

‘ආන්‍යා’ කියන්නෙ දේවප්‍රිය අධිකාරිගෙ දුවට ඉන්නෙ එයා. බොහොම පොහොසත් පවුලක දියණියක්. ඒ වුණාට හැමෝටම උදව් කරන ආඩම්බර නැති පොළවෙ පයගහලා ඉන්න තරුණියක්’

ආන්‍යාගෙ තාත්තා කවුද?

කිෂූ ගෝමස් සර්. එයා තමයි දේවප්‍රිය අධිකාරිට රඟපාන්නෙ. අම්මට රඟපාන්නෙ සංගීතා අක්කා.

මේ හැර නෙහාරගෙ වෙනත් චරිත මොනවද?

දැනට මේ ‘පාරදිගේ’ නාට්‍ය විතරයි. තව ටෙලිනාට්‍ය දෙක  තුනකින් ආරාධනා ලැබුණා. ඒත් කොවිඩ් නිසා තවම ඒ ගැන වචනයක් දුන්නේ නැහැ. මගේ පළමු නාට්‍යය වන ‘පාර දිගේ’ නාට්‍යයට තමයි මුල් තැන.

නෙහාරගෙ වයස කියමු?

20යි

රංගනයට අමතරව වෙන මොනවටද කැමති?

නර්තනයට හරි කැමතියි. නිරූපණයටත් ආසයි. ඒවාටත් දායක වෙනවා.

නෙහාරා  ගෙදර වැඩටත් දක්ෂද?

ඔව්. අම්මා  එක්ක ගොඩක් වැඩ කරනවා. උයන්න උදව් කරනවා. ගෙදරමනෙ ඉන්නෙ.

නෙහාරාට ‘පැස්ටා හදන්න පුළුවනිලු නේද?

හොඳට හදන්න පුළුවනි. ඉතාලියානු කෑම වර්ග හදන්න හරි ආසයි. රෙසිපි බලාගෙන හදනවා.

පසුගිය ගෙවී ගිය ජීවිතේ අමතක කරන්නම බැරි අවස්ථාව?

පාසල් කාලයේ මතක තමයි. යාළුවෝ එක්ක කළ දේවල්. මම ඒ කාලයේ හරි දඟයි. ඒ නිසා  ගුරුවරුන්ගෙන් දඬුවම් විඳලා තියෙනවා. පොඩි දේටත් විහිළු කරගෙන පාසල දෙවනක් වෙන්න හිනාවෙලා තමයි වැඩිපුර බැණුම් අහලා තියෙන්නේ.  අපි රණ්ඩුවෙලා ගහගෙනත් තියෙනවා. ක්‍රීඩාවක් ලෙස, ‘කරාටේ’ පුහුණු කළා. ඉතින් කවුරු හරි රණ්ඩුවට ආවාම ‘ගහගන්නම’ තමයි හිත.

අත් හරින්නම බැරි පුරුද්ද මොකක්ද?

හැම දෙයක් ගැනම ඕනෑවට වඩා හිතන එක.

හොඳම පුරුද්ද?

හැම දෙයක් ගැනම ඉක්මනට වටහා ගන්න පුළුවන් වීම.

‘ගෙදර’ අය කතා කරන්නෙ මොන නමින්ද?

තාත්තා කියන්නේ ‘බබා’ අම්මා ‘චූටි’ කියනවා. දෝනි කියනවා. අක්කා නම් ‘නංගී බබා’ කියලා කියනවා. අක්කා මට මගේ දෙවැනි අම්මා වගේ. වෙලාවකට හොඳ යාළුවෙක්. මගේ හොඳම යාළුවෝ දෙන්නා අම්මයි, අක්කයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
Lacation: Furnitur warehousa, බත්තරමුල්ල