රන්මිණීට මේ දවස්වල ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘හිතුවක්කාරි’ ටෙලි නාට්‍යයේ ඔබ දකින එමාෂා සේනවිරත්න සමගින් අපි අද කත බහා කළේමු. ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ඔබගේ ආදරයට පාත්‍ර වූ එමාෂා මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම ඔබට දකින්නට පුළුවනය.

‘හිතුවක්කාරි’ හි රන්මිණිට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?

රසික ප්‍රතිචාර නම් ඉතාම හොඳින් ලැබෙනවා.  රන්මිනි කියන්නේ මම ඉතාමත් ආසාවෙන් කරපු චරිතයක්. චරිතය ගැන කියනවා නම් රන්මිණී කියන්නේ ගැමි තරුණියක්. ඇය රැකියාවක් හොයාගෙන නගරේට එනවා. නගරේට ඇවිල්ල රැකියාවක් හොයාගන්න බැරිව අසරණ වෙලා එහිදි මුණ දෙන සිදුවිම් අලලා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.

දෙවෙනි ඉනිමෙන් පස්සේ ඔබව ප්‍රේක්ෂකයින්ට දකින්නේ මේ ටෙලි නාට්‍යය හරහාද?

ඔව්, ‘හිතුවක්කාරි’ තමයි මගේ දෙවැනි ටෙලි නාට්‍යය. තවත් කලා නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. ඉදිරියට ඒ නිර්මාණ තුළිනුත් මාව දකින්න ලැබෙයි. දෙසැම්බර් 04 වැනිදා ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා ‘ස්වේත අඳුර’ කියලා ටෙලි චිත්‍රපටයක්. ඒ තුළිනුත් මාව දකින්න පුළුවන්. මේක දෙසැම්බර් 04 හා 11 වැනිදා දවස් දෙකේම දහවල් 11ට විකාශය වෙනවා. මෙහි මම රංගනයෙන් දායක වෙන්නේ උපතින්ම අන්ධ ගැහැණු ළමයෙක් විදිහට.

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවා නේද?

ඔව්, මගේ මතකය හැටියට 2018 වසරේදි වගේ තමයි ‘දෙවෙනි ඉනිමේ’ සහේලි විදිහට රඟපාන්න ආවේ. එක ටෙලි නාට්‍යයක වැඩ කරන කොට නිර්මාණ කිහිපයක් භාරගන්න බැහැනේ. ඒ නිසා කාලයක් යනකම් මම සහේලි චරිතයම විතරක් කළා. ඒ වගේම පසුගිය වසර කිහිපයේදීම මම අධ්‍යාපන කටයුතුවලටත් මුහුණ දුන්නා. දැන් ඒ වැඩ සියල්ලම අවසන් නිසා  වැඩිපුරම දැන් කලාව පැත්තට යොමු වෙන්න හිතුවා.

සහේලිට තාම එදා වගේම ප්‍රතිචාර ලැබෙනවාද?

ඔව්, ප්‍රේක්ෂකයෝ මාව අඳුන ගත්තේ සහේලි චරිතය හරහා. දැන් මම ඒ ටෙලි නාට්‍යයේ නැතිවුණත් ගොඩක දෙනෙක් මාව අදුන්වන්නේ සහේලි කියලා. ඉදිරියේදි නැවතත් මම සහේලි චරිතය හරහා එන්න සූදානමක් තියෙනවා. බලමු ඉතින්.

රංගන ශිල්පිනියක් විදිහට මේ ගෙවපු කාලය තෘප්තිමත්ද ඔබ?

ඔව්, තෘප්තිමත්. මොකද මම ඉතාම අඩු නිර්මාණ ප්‍රමාණයකට තමයි මේ කාලය තුළදි දායක වුණේ. නමුත්, කරපු හැම නිර්මාණයක් හරහාම මම ප්‍රේක්ෂකයන් අතරට ගියා. අද වෙන කොට ‘හිතුවක්කාරි’ ටෙලි නාට්‍යයේ  රන්මිණි ගොඩක් මිනිස්සු ආදරය කරන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.

කලාවත් එක්ක දිගටම වැඩ කරන්නද අදහස?

ඔව්, එහෙම හිතාගෙන ඉන්නවා. ඊට අමතරව මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නත් අදහස් කරමින් ඉන්නවා. ව්‍යාපාරයක් කරන හිනේ අද ඊයේ තිබ්බ එකක් නෙමෙයි හැබැයි. දැන් කාලයක් තිස්සේ ඉඳලා තිබුණ හිනයක්. නමුත්, අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ අදහස් පස්සට ගියා. තවත් නොබෝ දවසකින් මගේම කියලා නිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න තමයි මම බලාපෙරොත්තුවෙන් ඉන්නේ.

බුද්ධික සේනාධීර