වැඩක් භාරගනිද්දි ගොඩක් ඒ ගැන හිතනවා මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වූ දිනුෂිකා ජයවර්ධන මෙවර සාරවිට අප සමග කතා බහකට මෙසේ එක් විය. කලා ක්ෂේත්‍රයට දැඩි සේ ඇළුම් කරන්නියක්ද වන ඇය මේ වනවිට නිරූපණයට අමතරව රංගනයටද මුලපුරා තිබේ. කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන්ද දිනුෂිකා පසුවෙයි.

දිනුෂිකා කියන්නේ කවුද?

නිරූපණය ක්ෂේත්‍රයට නවකයෙක්. හැබැයි කලා ක්ෂේත්‍රයට ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේම ඒ ක්ෂේත්‍ර තුළ වැඩ කරලා නමක් හදාගෙන මිනිස්සුන්ගේ ආදරණිය චරිතයක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක් කිව්වොත් හරි.

නිරූපණයට අත්පොත් තැබුවේ කොහොමද?

ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් ලොකු කාලයක් නැහැ. මම නිරූපණයට සම්බන්ධ වෙන්න කලින් රූපලාවන්‍ය ශිල්පිණියක්. 2013 වසරේදී තමයි මුලින්ම ඒ වෘත්තියට සම්බන්ධ වුණේ. දැනටත් ඒ වෘත්තියේ තමයි වැඩ කරන්නේ. දැනටත් මම මේ වනවිටත් මම නාවල පිහිටි LASHES CINDERELLA ආයතනයේ රූපලාවන්‍ය ශිල්පිණියක් විදිහට වැඩ කරමින් තමයි ඉන්නේ. ඉතින් රූපලාවන්‍ය ශිල්පිණියක් විදිහට වැඩ කරපු මුල් කාලේ මම නිතරම වගේ යනවා කොළඹ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයට. මොකද, රූපලාවන්‍යයට සම්බන්ධ ප්‍රදර්ශනය වසර පුරාම එහි තියෙන නිසා ඒ පිළිබඳව අත්දැකිමක් ගන්න. ඉතින් එහිදි ඡායාරූප ශිල්පින්, නිරූපණයට සම්බන්ධ අය නිතරම දකින්න ලැබුණා. එතැනින් තමයි ආසාවක් ඇතිවුණේ නිරූපණයට යොමු වෙලා වැඩ කරන්න.

නමුත්, ඔබ මේ ක්ෂේත්‍රයට ආවේ මෑතකදි?

ඔව්, මම මොඩල් බයි ත්‍රිකිලා ඇකඩමියට සම්බන්ධ වුණා මේ වසරේදී. එහි අවසානයේ පැවති නිරූපණ තරගවලින් ජයග්‍රාහිකාව වුණේ මම. ඒ ලැබුණ ජයග්‍රහණයත් සමග තමයි පුර්ණකාලීනව නිරූපණ වැඩ වලට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනා ත්‍රිකිලා ධරණි මිස්ට මාව නිරූපණ ක්ෂේත්‍රයේ මේ වගේ තැනකට ගේනාවට.

ඔබ රඟපාන්න කැමති නැද්ද?

ගොඩක් කැමැත්තෙන් ඉන්න දෙයක්. මෑතකදි මට ස්වාධින රූපවාහිනියේ විකාශය වුණ ගගන පියවර ටෙලි නාට්‍යයේ චේතනා කියන කෙටි චරිතය කරන්න ලැබුණා. ඒ තමයි මගේ පළමු රංගන අත්දැකීම. ඒ අවස්ථාව ලබාදුන් හසින්ත වැල්ලවාය කලා අධ්‍යක්ෂකතුමාට ස්තුති වන්න වෙන්න ඕනා. තව මට චැනල් සී නාලිකාවේ නිවේදිකාවක් විදිහට වැඩ කරන්නත් අවස්ථාවක් ලැබුණා.

ලංකාවේ දැන් ගොඩක් ඔය වගේ තරග තියෙනවා නේද?

ඔව්, මගේ අදහස අනුව නම් ඔය වගේ තරගවල ජයග්‍රහකයින් තෝරන විදිහ වෙනස්. දක්ෂයාට අද තැනක් ඇත්තේම නැහැ. විවිධ ක්‍රම තියෙනවා අද ඔය තරගවලින් ජයග්‍රහණය කරන්න. මම පොදුවේ හැම පැජන්ට් එකක්ම විවේචනය කරන්නේ නැහැ. හොඳ සාර්ථක විදිහට කරන පැජන්ට් තියෙනවා ලංකාවේ. ඒත්, සමස්ථයක් විදිහට ගත්තොත් බොහෝ තරගවල ජයග්‍රහණයින් තොරන්නේ වෙනත් විවිධ ක්‍රමවලින්.

ඒ වගේ දේවල්වලට ඔබ මුහුණ දීලා නැද්ද?

වරක් දෙවරක් නෙවෙයි කිහිප වරක් ඔය වගේ දේවල්වලට මම මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම පොටෝග්‍රැෆර්ලාගෙන්. වැඩකට කතා කරාම යන්නත් බයයි ඔය වගේ තත්ත්වයන් උඩ. බොහෝම අමාරුවෙන් තමයි තෝරා බේරා ගැනීමක් කරලා වැඩවලට යන්නේ. රඟපාන්න වුණත් එහෙමයි අවස්ථා කිහිපයකන්ම මට ලැබුණා නමුත්, ඔය තත්ත්වයන් නිසා මම සම්බන්ධ වුණේ නැහැ ඒ නිර්මාණවලට.

අපි හැමෝටම හින තියෙනවා. පොඩි කාලේ ඔබේ හීනේ?

ලෝකයම දන්න කෙනෙක් වෙන එක. කොටින්ම කලාව පැත්තෙන්. පාසල් යන කාලේ ඉඳලා මම ලස්සනට අඳින්න පළඳින්න කැමතියි. පාසලේ වුණත් මම කැපිලා පෙනුන කෙනෙක්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ වුණත් මම ඒ දේ දිගටම තියාගත්තා. අදටත් මම ගොඩක්ම කැමතියි ලස්සනට අඳින්න පළඳින්න. ඒ තිබුණ හීනේ තමයි මාව නිරූපණය පැත්තට යොමු වෙන්න හේතුව වුණේ.

කලා ලෝකයේ තරුවලට කැමැත්තක් තිබුණේ නැද්ද?

තිබුණා. විශේෂයෙන්ම දිපීකා පදුකෝනිට. එයා රඟපාන විදිහ වගේම එයා ගෙවන පෞද්ගලික ජිවිතේට මම ආසයි. තව මම ගොඩක් කැමති කෙනෙක් තමයි ටුවිලයිට් චිත්‍රපටයේ රඟපාපු ක්‍රිස්ටන් ස්ටුවර්ට්ට. එයා කරන විලාසිතාවලට මම කැමතියි. කොටින්ම කිව්වොත් ඒ දෙන්නව මම අනුකරණය කරනවා. ඒ අයගේ ජිවිතවලින් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.

පවුලේ අය කැමතිද ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට?

ගොඩක් සතුටුයි. ඒ අය මාව රංගන ශිල්පිණියක්, නිරූපණ ශිල්පිණියක් විදිහට දකින්න කැමතියි. පවුලේ හැමෝම වගේ උදව් කරනවා මට. ඒ අයගේ උදව් නිසා තමයි අද මම මේ ක්ෂේත්‍රවල මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ කිව්වොත් හරි.

බුද්ධික සේනාධීර