වැරැදි අය ළංවුණොත් ආදරය වේදනාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මගේ අම්මා මැරුණාම, මාව හදාවඩා ගත්තෙ මගේ පුංචි අම්මා. මම අම්මා කියලා කතා කරලා තියෙන්නෙත් පුංචි අම්මාට. අපෙ අම්මා මැරෙනකොට මම ගොඩාක්ම පුංචියි. අපේ පුංචි කසාද බඳින දවසේ මම අම්මා අම්මා කිය කියා පෝරුව ළඟටත් ගියාලු.” මේ විදිය කියන්නේ නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන නිලූ ටනාෂා ය. මේ දිනවල ඇය අපට හමුවන්නේ ‘පාර දිගේ’ නාට්‍යයේ වත්සලා නමිනි. ඉතින් මේ නිලූ ටනාෂා මොන වගේද? මේ ඇය අපට හමුවූ මොහොතකි. 

‘නිලූ’ විතරද නම?

නිලූ ටනාෂා.

අපි නිලූ කියන්නද?

ඔව් මට හැමෝම කතා කරන්නෙ නිලූ කියලා. ඒ නිසා ඒ නම හොඳයි.

නිලූගෙ ගම?

බත්තරමුල්ල, කොස්වත්ත.

නිලූ ගැන හැඳින්වීමක් කළොත්?

වැඩිදෙනෙක් මාව හඳුනාගත්තෙ නිරූපිකාවක ලෙස. නිරූපිකාවක ලෙස වසර 10ක් තිස්සේ ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණය හැදෑරුවා. රංගනයට ආවේ හර්ෂ උඩකන්ද මහතාගේ ‘සේද මාවත’ චිත්‍රපටයෙන්. මගේ මුල්ම රංගනය ‘සේද මාවත’ යි. ඒ ෆිල්ම් එකට මාව හඳුන්වලා දුන්නෙ අනුජ් රණසිංහ අයියා. ඉන්පසුව චාමර සමරවික්‍රම අයියගෙ ‘අග්නි පියාපත්’ ටෙලි නිර්මාණයට එක්වුණේ. සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතා සහ චාමර අයියා නිසයි ඒ අවස්ථාව ලැබුණෙ. ‘අග්නි පියාපත්’ වලින් පසුව ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. දැන් ‘පාර දිගේ’.

‘පාර දිගේ’ චරිතය කියමු?

ඒකෙ මගේ නම වත්සලා. රෙහාන් ට ආදරය කරන්නෙ වත්සලා. ඒ ආදරය නිසා බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මම මගේ ආදරය දිනාගන්න ලොකු සටනක් කරන්නෙ. ඒකෙ වත්සලා ටිකක් දඟකාරයි, කටකාරයි. ඒ වගේම හිතුවක්කාරයි. ආදරය ප්‍රශ්නයක් කරගෙන, ආදරය බලෙන් හරි ලබාගන්න උත්සාහ කරන කෙනෙක්. ඉස්සරහට කොහොම වේවිද දන්නෙ නැහැ.

නිලූගේ සැබෑ ප්‍රේමය ගැන කියමු?

ළඟදිම විවාහ ගිවිස ගන්න ඉන්නෙ. ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඉදිරියේදී විවාහවීමේ අපේක්ෂාවෙන් ඉන්නෙ.

එයා ගැන කියමු?

එයා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ කෙනෙක්.

ඒ ආදරේ බලෙන් ලබාගත්ත එකක්ද?

නැහැ, නැහැ. ඒක අපි දෙන්නගෙම කැමැත්තට වෙච්ච ආදරයක්.

‘ආදරය’ නිලූට දැනෙන්නෙ මොන විදියටද?

හරිම සුන්දරයි. ආදරයට සීමාවක් නැහැ. ආදරයට වේදනාවක් ඒවි. ඒත් ඒ වේදනාව අභියෝගයක් කරගෙන, ආදරයට ගරු කරන කෙනෙක්. ආදරය වේදනාවක් වෙන්නෙ වැරදි අය ජීවිතයට ළං වුණාමයි. කොහොම වුණත් මම ආදරයට ගරු කරන කෙනෙක්.

ඒ කියන්නෙ, ආදරණීය චරිතයක්?

ආදරණීය චරිතයක්. මට ආදරේ කරන අයට වගේම මට වෛර කරන අයටත් ආදරය කරන කෙනෙක්. කවුරු හරි බැන්නත් මම ඒ අයට වෛර කරන්නෙ නැහැ. මම වරදක් කළොත් ඒක හිස නමා පිළිගන්න කෙනෙක්. වැරැද්දක් නොකර බනිනවා නම්, ඒත් මම ඒ අය එක්ක පැටලෙන්න යන්නෙ නැහැ. තමන් හරි නම් හරි. මම හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ප්‍රශ්න තිබුණත් නැහැ වගේ ඉන්න කෙනෙක්. කෙළින් කතා කරන එකට මම හරිම ආසයි. මූණට එකක්, නැති තැන එකක් කියන අයට වඩා කෙළින් කතා කරන අයට මම ආසයි.

ඉතින් නිලූගෙ ගෙදර විස්තර කියමු?

අම්මා නැහැ. අම්මා මියගියේ 2008 වසරේදී. මායි තාත්තයි ඉන්නෙ. ජීවිතේ වැඩිපුර කාලය ගත වෙන්නෙ පුංචි අම්මා සහ බාප්පා එක්ක. කුඩා කාලයේ ඉඳලා මම වැඩිපුර හිටියෙත්, හැදී වැඩුණෙත් පුංචි එක්ක. පුංචි තමයි මට වඩාත් සමීප. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. අක්කලා දෙන්නාම විවාහකයි. ලොකු අක්කා තාත්තාව බලාගෙන ඉන්නවා. පුංචිටයි, බාප්පටයි දරුවෝ නැහැ. එයාලගෙ හුරතලා මම. මම ඉන්නෙ ඒ දෙන්නා එක්ක. 

‘නිලූ’ කිව්වාම මොන විදියෙ කෙනෙක්ද?

හරිම සරල කෙනෙක්. කවුරු හරි දැක්කාම හිතනවා ඇති මෙයා හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් කියලා. මම කාටවත් ප්‍රශ්න දෙන්නෙත් නැහැ. කාගෙවත් ප්‍රශ්න ගන්නෙත් නැහැ. හිතුවක්කාර වැඩක් ඉඳ හිටලා කරනවා. වැරදෙන්න හරි හරියන්න හරි අත්දැකීම් ගන්න ආසයි.

නිරූපණය, රඟපෑම හැර වෙන තව මොනවද පුළුවන්?

නර්තනය පුළුවනි. කෙවින් නුගාරා යටතේ නර්තනය හැදෑරුවා. තවමත් හදාරනවා. චිත්‍ර අඳින්නත් පුළුවනි.

ඉවුම් - පිහුම් බැහැ?

හොඳට උයන්න පුළුවන්. හොඳට රහට කෑම හදන්න පුළුවන්.

මොනවද රසටම හදන්නෙ?

ඕනෑ එකක් පුළුවනි. නූඩ්ලස් ජාති එහෙම හදන්න ආසයි. මිරිස් තුනපහ ටිකක් වැඩිපුර දාන නිසා මගේ කෑම ටිකක් සැරයි. 

ඔබ නිරූපණ ශිල්පිනියක්. අපේ රටේ නිරූපිකාවකට සීමා තිබිය යුතුද?

ගැහැනු ළමයකු දිහා අපේ රටේ බලන කෝණයක් තියෙනවනෙ. මොන දේ කළත් ඒ දැක්ම වෙනස් කරන්න අපට බැහැ. හොඳට හිටියත්, නරකට හිටියත්, ලස්සනට ඇන්දත්, කොටට ඇන්දත් විවේචන. ඒ නිසා තමන්ගෙ සීමාව සහ ගරුත්වය තියාගෙන වැඩ කරනවා නම්, ඉබේම තමන්ටම සීමාවක් ඇතිවෙනවා. මම ගැහැනු ළමයෙක්, මේ දේ මට සුදුසු ද කියන දේ ඕනෑම දෙයක් කරන්නට පෙර සිතා බැලීම වැදගත්. තමන් තමන්ටම සීමා දාගත්තාම ජීවිතය හරි ලෙහෙසියි.

පිරිමි පාර්ශ්වයෙන් එන යෝජනාවලට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?

ඒක හරි පරිස්සමට කළයුතු දෙයක්. නරක සහ හොඳ මිනිස්සු වගේම එක එක විදියෙ අය ඉන්න පුළුවන්. ඒ නිසා අපි ඒ අය හඳුනාගෙන අපි පරිස්සම් විය යුතුයි. එතකොට පිරිමි 100 ක් එක්ක වුණත් වැඩ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒක තියෙන්නෙ අපේ හැසිරීම සහ ගෞරවය එක්ක.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
කොණ්ඩා විලාසිතා සහ හැඩගැන්වීම්: සුනෙත් හිඳුරංගල