වරූන් ධාවන් එක්ක රඟපාන්න ලැබුණොත්, ඒක මට හිතාගන්න බැරි වේවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන කෝලම් කුට්ටම්’ ටෙලි නාට්‍යයේ මිණිමුතු’ චරිතය හරහා බොහෝ පිරිසකගේ ආදරය වර්තමනයේ හිමි කරගෙන සිටින කාවින්ද්‍යා දුල්ෂානි දැනට ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණේ. මෙවර කාවින්ද්‍යාට අපි වෙනස්ම විදිහේ ප්‍රශ්ණ කිහිපයක් මෙවර යොමු කළේමු. මේ ඇය ඊට ප්‍රතිචාර දැක්වූ හැටි.

කාවින්ද්‍යා කියන්නේ මොන වගේ කෙනෙක්ද?

මම සරළ සාමාන්‍ය අවුරුදු 25ක ගැහැණු ළමයෙක්. අම්මාට, තාත්තාට නංගිලා තුන් දෙනාට ගොඩක් ආදරය කරන ඒ අයත් එක්ක වැඩිපුරම කාලය ගෙවන්න නිදහසේ ජිවත් වෙන්න කැමති කෙනෙක් කිව්වොත් හරි.

නිරූපණයට, රංගනයට අමතරව ඔබ දක්ෂ තව මොනවටද?

පාසල් කාලේ නම් ක්‍රීඩා කරලා තියෙනවා. විශේෂයෙන්ම කරාතේ ක්‍රීඩාව. පාසල් මට්ටමින් පවා කරාතේ ක්‍රිඩාවෙන් ජයග්‍රහණ අත් කරගෙන තියෙනවා මම.  ඊට අමතරව මම නර්තනයටත් දක්ෂයි. ඒ පිළිබඳව හදාරලත් තියෙනවා.

කැමතිම ක්‍රීඩකයා කවූද?

ක්‍රිකට් තරග නරඹන්නන් මම ගොඩක් කැමැතියි. ලංකාවේ ගත්තොත් මම ගොඩක් ආසයි මහේෂ් තික්ෂණට. මම දන්න තරමට ඔහු මෑතකදී තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සම්බන්ධ වුණේ. පොඩි කාලයක් තුළදී ඔහු තමන්ගේ දක්ෂතා උපරිමයෙන්ම ශ්‍රී ලංක ජාතික කණ්ඩායම වෙනුවෙන් ලබා දුන්නා. ඒ වගේම එක්දින හා විස්සයි 20 කණ්ඩායම වල අද වෙන කොට ඔහුගේ ස්ථානය තහවුරු වෙලා තියෙනවා කියලා මම හිතනවා.

අහන්න කැමතිම ගීතය මොකක්ද?

එක ගීතයක් කියලා නැහැ. ගීත කිහිපයක්ම තියෙනවා මම කැමති. යුකි නවරත්නගේ ගීත තමයි මම අද වෙන කොට ගොඩක්ම අහන්නේ. මොකද, මම ඔහුගේ හඬට ගොඩක් කැමැතියි. ඇත්තම කියනවා නම් ඔහු ගැන මම දැන ගෙන හිටියේ නැහැ. යාළුවෙක් දවසක් ඔහුගේ ගීත කිහිපයක් මට එව්වා අහන්න. ඊට පස්සේ තමයි ඔහුගේ ගීතවලට මම පුදුමාකාර විදිහට කැමති වුණේ. ඔහුගේ මේ හිත නැහැ පාළු.. කියන ගීතය තමයි මේ දිනවල වැඩිපුරම අහන්නේ මම.

බලපු හොඳම චිත්‍රපටය මතකද?

බලමු හොඳම චිත්‍රපටය කියනවාට වඩ කැමති හොඳම චිත්‍රපටය ගැන මම කියන්නම්. සනම් තේරි කසම්.. බොලිවුඩ් චිත්‍රපටය. මම ඒ චිත්‍රපටය හය හත් පාරක් විතර බැලුවා මගේ මතකය හැටියට. අද ආයේ බැලුවොත් මට ඇඩෙනවා ඒ චිත්‍රපටය බලන කොට. ඒ තරමට ඒ චිත්‍රපටය ගොඩක් සංවේදියි. ඒ තරමට ඒක හිතට දැනෙනවා. 

රඟපාන්න ආසම නළුවෙක් ඉන්නවාද?

වරූන් ධාවන්ට කැමතියි. එයාත් එක්ක රඟපාන්න චාන්ස් එකක් හම්බ වුණොත් අම්මෝ ඒක මට හිතාගන්න බැරි වේවි. ලංකාවේ නළුවෙක් කිව්වොත් බිමල් ජයකොඩි අයියාට කැමතියි. පොඩි කාලේ ඉඳලම මම ගොඩක් ආස කරන නළුවෙක් තමයි බිමල් අයියා කියන්නේ. මම ඔහුත් එක්ක රඟපාලා තියෙනවා. ඉදිරියටත් රඟපාන්න බොහෝම ආසවෙන් ඉන්නවා.

ජිවිතේ දුක හිතුණ අවස්ථා නැද්ද?

ජිවීතේ ගොඩක් දුක හිතුණු අවස්ථා තියෙනවා. අපි හැමෝටම දුක හිතුණ අවස්ථා තියෙනවානේ. හැමෝම සතුටින් ඉන්නේ නැහැ. දුක, සතුට මේ හැම දෙයක්ම අපිට තියෙනවා. දුක හිතුණ වෙලාවට ඉතින් මනසින් වැටෙනවා. අපි කවුරුත් එහෙම නේ.

ඔයාට හිතන විදිහට ඔයාගේ ඇගේ ලස්සනම මොකක්ද?

ගොඩක් කට්ටිය කියනවා මගේ ඇස්දෙක ලස්සනයි කියලා. ඒ නිසා මම හිතනවා මගේ ශරිරයේ ලස්සනම කොටස මගේ ඇස් දෙක කියලා. මම මාව අවතක්සේරු කරන්නේ නැහැ. මට නම් මගේ මුළු ඇඟම ලස්සනයි. නමුත්, අර කට්ටිය වැඩියෙන්ම කියන්නේ ඇස් දෙක ලස්සනයි කියලා නිසා මමත් පිළිගන්නවා මගේ ලස්සනම ඇස් දෙක කියලා.

දැනට කී දෙනෙක් ඔයාට ආදරේයි කියලා තියෙනවාද?

පාසල් කාලේ ඉදලා ගත්තොත් මට ආදර සම්බන්ධකම් තිබුණේ හතරයි. මට ආදරේයි කියලා කී දෙනෙක් කියලා තියෙනවා කියලාද ඇහුවොත් ඒකට නම් මට දෙන්න උත්තරයක් නැහැ. මොකද, මට ඒ ප්‍රමාණය මතක නැහැ ඇත්තටම.

බුද්ධික සේනාධීර